කොරෝනා ආසාදිතයින් හමුවීමේ අවදානම හේතුවෙන් හුදෙකලා කර පසුගිය සතියේ නැවත විවෘත කළ කුරුණෑගල මහ වීදියේ තවත් ව්‍යාපාරික ස්ථාන දෙකකින් ඊයේ (19) කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වී ඇත.
මහ වීදියේ ව්‍යාපාරික ස්ථාන හතරකින් කොරෝනා ආසාදිතයින් වාර්තා වී තිබීම හේතුවෙන් එම වීදියේ සැක සහිත ව්‍යාපාරික ස්ථාන වල සේවය කරන සේවකයින්ට කුරුණෑගල මහනගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය අංශය විසින් කරන ලද පීසීආර් පරීක්ෂණයකින් මෙම ආසාදිතයින් දෙදෙනා හමුවී ඇත.
ඉන් එක් අයෙක් අකුරණ බුළුගෝවතැන්න පදිංචිකරුවෙකු වන අතර අනෙක් තැනැත්තා මාවතගම පරගහදෙණිය සිංහපුර පදිංචි අයෙකි.
මෙම ආසාදිතයින් දෙදෙනාත් සමඟ කුරුණෑගල නගරයේ ප්‍රධානම වීදිය වශයෙන් සැලකෙන මහ වීදියේ ව්‍යාපාරික ස්ථාන හයකින්ම මේවනවිට කොරෝනා ආසාදිතයින් වාර්තා වී ඇති බව කුරුණෑගල මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය අංශය පවසයි.
මෙම ආසාදිතයින් දෙදෙනාට අමතරව මේ වනවිට කුරුණෑගල මහ වීදියෙන් වැඩියෙන්ම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වූ ප්‍රසිද්ධ ප්ලාස්ටික් තොග භාණ්ඩ ව්‍යාපාරික ස්ථානයේ සේවය කරන ආසාදිත සේවකයෙකුගේ 13 හැවිරිදි දියණියට සහ 18 හැවිරිදි පුතුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ තහවුරුවී තිබේ. ඔවුන් ඉබ්බාගමුව බක්මීගොල්ල පීල්ලව පදිංචිකරුවන්ය.
මේ වනවිට එම ව්‍යාපාරික ස්ථානයට සම්බන්ධව කොරෝනා ආසාදිතයින් 22 දෙනෙකු සම්බන්ධ තොරතුරු මේ වනවිට වාර්තා වී ඇත. මෙම ආසාදිතයින්ගෙන් වැඩි පිරිසක් කුරුණෑගලින් බැහැර අකුරණ පදිංචිකරුවන් වීමද විශේෂත්වයකි.
මේ ආකාරයට කොරෝනා ආසාදිතයින් වාර්තා වීම සැලකිල්ලට ගෙන කුරුණෑගල මහ වීදිය සතියකට වැඩි කාලයක් සම්පූර්ණයෙන්ම වසා දමා හුදෙකලා කර තිබූ අතර නැවත විවෘත කරනු ලැබුවේ පසුගිය අඟහරුවාදාය.
ගීතාංජලී ප්‍රියදර්ශනී