ඉදිරි මහාමැතිවරණයට තරඟ කරන සන්ධානය කුමක් වුවත් ලකුණ පොහොට්ටුව විය යුතුම බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
පක්ෂ නායකයින් අතර කුමන ගිවිසුම් ඇති වුවද ජනතාවට වටින්නේ ජනතාව සමග ඇති කර ගත් ගිවිසුම බව පෙන්වා දෙන රණතුංග මහතා කවුරු කා සමග ගිවිසුම්ගත වුව ද ක්‍රියා කළ යුත්තේ ජනතා අපේක්ෂාව හඳුනාගෙන ඒ අනුව බව ද පෙන්වා දෙයි.
ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කුමක් කිවද එළඹෙන මහා මැතිවරණයේ දි තරඟ කරන්නේ පොහොට්ටුවෙන් පමණක් බව රණතුංග මහතා අවධාරණය කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අත්තනගල්ල බල මණ්ඩල රැස්විමට ඊයේ (14) එක්වෙමින් රණතුංග මහතා මේ බව සඳහන් කළේය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ප්‍රසන්න රණතුංග මහතා ,
"මම දැක්කා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්තුමා කියලා තියෙනවා පක්ෂ 27ක් එක්ක ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා ඒ ගිවිසුම අනුව ඊළඟ මහ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ පුටුව ලකුණින් කියලා. ඔය පක්ෂ නායකයෝ මොන ගිවිසුම් ගැහුවත් මේ රටේ ජනතාව සමග තිබෙන ගිවිසුමයි වටින්නේ. දැන් රටේ ජනතාව අප සමග ගිවිසුමකට එළඹිලා ඉවරයි පොහොට්ටුව දිනවන්න. ඒක පසුගිය ජනාධිපතිවරණයෙන් තහවුරු වුණා. ඒ නිසා මම කියන්නේ අපි මොන මොන සන්ධාන ගැහුවත් ඊළඟ මහා මැතිවරණයට තරඟ කරන්නේ පොහොට්ටුව ලකුණින්මයි.
අපේ පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. මේ පක්ෂය හදන්න රෑ දවල් නැතුව කැප වුණේ අපි. මේ පක්ෂය අපි හැදුවේ රෝස මල් යහනාවක ඉදන් නෙමෙයි. අද ඔය ලොකු කථා කියන මහත්තුරු අලුත් පක්ෂයක් හැදුවොත් අපිව පාරක් පාරක් ගානේ ඇවිද්දෝනවයි කිව්වා පක්ෂයෙන් එළවනවා කිව්වා. මහින්ද මහත්තයට ආදරය කරන මිනිස්සු මේ පක්ෂය හදන්න තමන්ගේ ලේ, කදුළු, දහඩිය කැප කෙරුවා. ඒ නිසා අපි හදපු, ජනතාව ආදරය කරන මේ පක්ෂයවත්, මේ පක්ෂයේ ලකුණ වන පොහොට්ටුවවත් නැති කරන්න අපි කිසිවෙකුට ඉඩ තියන්නේ නෑ. එදා අපි පොහොට්ටුව හැදුවේ නැත්නම් අද ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වෙන්නෙත් නෑ.
මහින්ද මහත්තයව අපි පාර්ලිමේන්තු මැතිවරණයට ගෙනාවා 2015 දි. හැබැයි එක එක අයගේ ඉල්ලීම නිසා අපිට සිද්ධ වුණා එකතු වෙලා බුලත් කොළයෙන් තරඟ කරන්න. මම නම් එදත් විරුද්ධ වුණා. මම කිව්වා කවදාවත් මෛත්‍රීපාල ජනාධිපතිවරයා විශ්වාස කරන්න එපා කියලා. පක්ෂයේ ලේකම්වරයා වෙලා ඉදලා පිටිපස්සෙන් පිහියෙන් ඇන්න වගේ වැඩක් තමයි එදා මෛත්‍රී ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා කළේ. ඒ නිසා එකතුවෙන්න එපා අපි තනියම ඉල්ලමු කියලා මම එදා කිවුවා.
නමුත් කණ්ඩායමක් ඇවිත් මහින්ද මහත්තයට එදත් කිව්වා ඔබතුමා මේකෙ නායකත්වය අරගෙන කරගෙන යන්න කියලා. කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑ කියලා. හැබැයි මැතිවරණය කරගෙන යනකොට කිව්වා මහින්ද දිනුවත් අගමැතිකම දෙන්නේ නෑ කියලා. පක්ෂයේ ලේකම්වරු අයින් කරලා අපිට දිනන්න තිබුණ අවස්ථාව නැති කළා.
ඒ හින්දා මම නම් සතපහකට මෛත්‍රී ජනාධිපතිවරයා විශ්වාස කරන්නේ නෑ. එදා විශ්වාස කළෙත් නෑ. අද විශ්වාස කරන්නෙත් නෑ. හෙට විශ්වාස කරන්නෙත් නෑ. දැන් ශ්‍රී ලංකා එක කියන්නේ ජනාධිපතිවරණයේ දි ගහපු ගිවිසුම අනුව පුටුව ලකුණින් තරඟ කරන්න ඕනේ කියලා. පක්ෂ නායකයෝ එක්ක ගිවිසුම් ගහගෙන හරියන්නේ නෑ. ගිවිසුම ගහන්න ඕනේ රටේ පොදු මහජනතාව එක්කයි. අපි ගහපු ගිවිසුම තමයි ඊළඟ මහාමැතිවරණයේදිත් අපි තරඟ කරන්නේ පොහොට්ටුවෙන් කියන එක. ඒක වෙනස් කරන්න අපි කිසිසේත් සුදානම් නෑ.
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මේ වැඩ පිළිවෙත් එක්ක අද රට තුළ නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය වෙලා තියෙනවා. තරුණයෝ රට වෙනුවෙන් හිතන්න පටන් අරන්. රට වෙනුවෙන් ඉදිරියට ඇවිත්. ඒක හොඳ ප්‍රවණතාවයක් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැඩපිළිවෙලත් එක්ක අද රට තුළ අලුත් පිබිදීමක් ඇතිවෙලා තියෙනවා” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.