රටේම ජනතාවගේ කම්කරු අයිතීන් සුරක්ෂිත කිරීමට කටයුතු කරන කම්කරු නිලධාරීන් මර්දනය කිරීමට කම්කරු දෙපාර්තමේන්තු පාලනාධිකාරිය සැලසුම් කරමින් තිබෙන බව රාජ්‍ය සේවා කම්කරු නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
පවතින කම්කරු නීති ක්‍රියාත්මක කිරීම පිළිබඳ සිදුකරන සමාලෝචන කටයුතු යාවත්කාලීන කරන ලෙස සිදුකළ ඉල්ලීම මූලික කරගෙන මෙම මර්දනකාරී ක්‍රියාව සැලසුම් කරමින් තිබෙන බවද එම සංගමයේ සභාපති චින්තක ගමගේ මහතා සඳහන් කළේය.
කම්කරු නීති ක්‍රියාත්මක කිරීම පිළිබඳ සිදුකරන සමාලෝචන ක්‍රමවේදය වර්තමානයට නොගැළපෙන නිසා මෙම ඉල්ලීම කළ බවත්, එම කටයුතු කිරීමට බලධාරීන් පොරොන්දු වුවද, අදාළ කටයුතු මෙතෙක් සිදුකර නොමැති බවද අද (29දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පවසා සිටියේය.
මේ නිසා මේ වසරේ පැවැති සමාලෝචන කමිටුවක් වර්ජනය කිරීමට නිලධාරීන් කටයුතු කළ බවත්, එලෙස සිදුකළ නිලධාරීන්ගෙන් ස්ථිර සේවකයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමටත්, පරිවාස කාලය ගතකරන නිලධාරීන් ඉවත් කිරීමටත් සැලසුම් කර තිබෙන බවත්, එය රටේ කම්කරු නීති උල්ලංඝනය කිරීමක් බවත් හෙතෙම සඳහන් කළේය.