කොප් කමිටුව ( පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව) මගින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම පිළිබඳ විශේෂ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.
එම කමිටුව ඊයේ (24දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පළමු වාර්තාවේ මේ පිළිබඳ සඳහන්ව ඇත.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම පිළිබඳව විගණකාධිපතිවරයා කළ වාර්තාවක්ද කෝප් කමිටුවට ලැබී ඇති බවත් එම වාර්තාවත් විශේෂ වාර්තාව සමග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරෝත්තුවන බව මෙම වාර්තාවේ දැක්වේ.
රජයේ ව්‍යාපාරයක් සම්බන්ධයෙන් කෝප් කමිටුව මගින් විශේෂ වාර්තාවක් ඉදිරිපත් කරන දෙවන අවස්ථාව මෙය වන අතර එම කමිටුව මගින් 2015 බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් 2017 වර්ෂයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
මේ අතර 2013 වසරේ ගුවන්යානා 08 ක් ලබාගැනීමට එවකට කොන්ත්‍රාත් අත්සන් කර ඇත්තේ කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් තොරව බවද සඳහන් වේ.
වත්මන් රජය මගින් ශ්‍රී ලංකන් ආයතනය විසින් එම කොන්ත්‍රාත් අත්හිටුවීම සඳහා රුපියල් මිලියන 16924.36 ක් කැබිනට් අනුමැතිය ලැබීමට පෙර ගෙවා ඇති බවද අනාවරණය වී ඇත. එමෙන්ම ශ්‍රී ලංකන් ආයතනය නිලධාරීන් 190 කට රුපියල් මිලියනය බැගින් මාසික වැටුපක් ලබාගෙන ඇති බවද මෙම වාර්තාව මගින් අනාවරණය කර තිබේ.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම 2014 වර්ෂයේ මිලියන 32 357 ක් , 2015 වර්ෂයේ මිලියන 16 000 ක් 2016 වර්ෂයේ මිලියන 12 000 ක් 2017 මාස 09 තුළ මිලියන 40 000 ක් පාඩු ලබා ඇති බව මෙම වාර්තාව මගින් අනාවරණය කර තිබේ .