කොරෝනා පාලනය සඳහා රජයෙන් පනවා තිබෙන කොන්දේසි උල්ලංඝණය කරමින් මගීන් ප්‍රවාහනය කරන බස් රථවල බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන කළමණාකරණ විදුලිබල සහ බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (20දා) තංගල්ලේදී පැවැසීය.
අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙසේ පැවසූයේ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් තංගල්ල ඩිපෝවට පැමිණි අවස්ථාවේදීය. ඉන් අනතුරුව අමාත්‍යවරයා තංගල්ල මධ්‍යම බස් නැවතුම්පොළේ ද සංචාරයක නිරත වූයේය.
"ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් අපි බලාපොරොත්තු වුණේ නෑගම් යන්න නෙවෙයි. අත්‍යවශ්‍ය රාජකාරී සහ කර්මාන්ත ආදී රැකියාවලට යන්නයි. ජනතාව වැඩි ප්‍රමාණයක් පෙර පරිදි ගමන් බිමන් යන්න පාරට ඇවිත් සිටියා.
ජනතාවට ප්‍රවාහනය පහසුකම් සලසන්න අපගේ සේවකයන්ට පැමිණීමේ ගැටළු ඇති වුණා. හෙට දිනයේ සිට මේ ගැටළුව සැලකිය යුතු ප්‍රමාණයක් වෙනස් කරන්න පුළුවන්.
ඇතැම් කොන්දොස්තර මහත්වරු පොඩි පොඩි අඩුපාඩු වැඩ කර ඇති බවට වාර්තා වී තිබෙනවා. එසේ සිදුවීම් තිබුණහොත් ඒ අයට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්නවා. පෞද්ගලික බස් රථ කිහිපයකුත් විශාල මගීන් ප්‍රමාණයක් රැගෙන යන බවට අපිට වාර්තා වී තිබෙනවා. ඒ සියලු දෙනාටම එරෙහිව අපි කටයුතු කරනවා.
අත්‍යවශ්‍ය රාජකාරී සඳහා ඇඳිරි නීති බලපත්‍ර සහිත වාහනවලට අමතරව කිසිදු වාහනයක් අන්තර් පළාත් ගමනාගමනය සිදුකරන්න එපා යැයි අපි දන්වා තිබෙනවා. එම කොන්දේසිවලට එරෙහිව ක්‍රියාකළ බස් රථ තිබෙනවා නම් එම බස් රථයේ බලපත්‍ර අහෝසි කරන්න අපි කටයුතු කරනවා.
අද දවසේ ලංගමයට සහ දුම්රිය දෙපාර්තමේන්තුවට කෝටි ගාණක පාඩුවක් සිදුව තිබෙනවා. අපේ සේවකයන් කවුරුත් රජයේ පාඩුව විඳදරාගෙන ඉන්නේ සේවාවක් විදියට. මෙය වැරැදි විදියට යොදවාගන්නට පෞද්ගලික බස් රථ හිමියන් ක්‍රියාකරනවා නම් ඒ අයගේ බලපත්‍ර අහෝසි කර ඒ අයට දඩුවම් ලබා දීමට කටයුතු කරනවා.
බස්රථවල ආරක්ෂාවට පොලිස් නිලධාරීන් යෙදවීමට අපහසුයි. මෙහි වගකීම අපි හැමෝම බාරගත යුතුයි. බස් රථවල වැඩිපුර අය ගන්නවා නම් අනෙක් අය විරුද්ධ වෙන්න. කවුරුවත් බලෙන් පටවගෙන යනවා නෙවෙයි. ජනතාවම බස්වලට නැඟලා ෆේස්බුක් දැම්මාට වැඩක් වෙන්නේ නැහැ."
අනීෂා මානගේ