කාන්තාවගේ ගර්භාෂය මනුෂ්‍යයාගේ අනාගතය ගෙන යන බවත්, ඒ නිසා කාන්තාවට සම තැන නොව මුල්තැන හිමිවිය යුතුයැයි මහානගර අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවැති ජාතික මග කාන්තා මහා සමුළුවට සහභාගී වෙමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
"මේ ලෝකයේ මනුෂ්‍ය ප්‍රජාව ඉදිරියට යන්නේ කාන්තාවගේ ගර්භාෂය නිසයි. ඒ ගර්භාෂයේ දරුවෝ රැගෙන යාමේ හැකියාව තිබෙන්නේ කාන්තාවට පමණයි. ඒ නිසා එම සුවිශේෂත්වය කාන්තාවට තිබෙනවා. ඒ නිසා අපි එකක් මතක තබා ගත යුතුයි මේ පහත්ය කියන කතාවට වඩා වෙනස් ජීවමය තත්වයන් තිබුණා උනත්, ජීවියෙක් හැටියට ගත්තම කාන්තාවයි පිරිමියයි ඔක්කොම එකම ජීවියෙක් .
අතීතයේදී නොයෙකුත් විද්යාවන්වලදී කිවූ දෙයක් තමයි කාන්තාවන් දුර්වලයි කියලා. ජීවමය වශයෙන් දුර්වලයි, ශාරීරික වශයෙන් දුර්වලයි, එහෙම නැත්නම් කාන්තාවන් පහත් කියන මතයක් ඉදිරිපත් වී තිබෙනවා මේ ශුද්ධ ග්රන්ථවලත් ලියැවිලා තිබෙනවා.
මේ අනුව බැලූවහම අපට පේනවා හුසේන් බෝල්ට් තත්පර 9.5 ට මිටර් 100 දුවනවා. එයාගේ රටේ ඉන්න ෂෙලී ඈන් ෆේ‍්‍රෂර් තත්පර 10.7 තමයි මීටර් 100 දුවන්නේ. එහිදී අපට පේනවා පිරිමියා ශාරීරික අතින් වේගවත් මීටර් 100 දුවද්දී කාන්තාවට වඩා. ඒ ඒ අය අතරේ තිබෙන වෙනස්කම. ඒ වෙනස්කමේදී කිසිසේත්ම කාන්තාවෝ පස්සට යන්නේ නැහැ. ඇයි? තවත් සමහර ක්ෂෙත්ර කාන්තාවට පමණක් ආවේණික ක්ෂෙත්ර.
අපි දන්නවා නොයෙක් ආගම්වල තමන්ගේ වූ දහම් ග්රන්ථ තිබෙනවා. දහම් ප්රකාශනයන් තිබෙනවා. ශුද්ධ ග්රන්ථ තිබෙනවා. දෙවියන්ගේ වදන කෙලින්ම ලියා තිබෙන දේවල් කියා යම් යම් අය ප්‍රකාශ කරනවා. ඒවාට මේ මේ අරුත් තිබෙනවා කියා ප්‍රකාශ කරනවා. එනමුත් අපි එක දෙයක් මතක තබා ගත යුතුයි. වෙනස්වන ලෝකයක මිනිසුන්ගේ දැනුම වෙනස් වෙන කොට පොත පතේ ලියැවී තිබෙන ඒවා සහ මහපොළවේ තිබෙන යථාර්ථය අතර ලොකු පරතරයක් වෙනසක් ඇති වෙනවා.
ඒ යථාර්ථය පිළිගන්න අපි සූදානම් විය යුතුයි. බොහෝ වසර දහස් ගණන්වලට පෙර තිබූ අතීතයේ ඇතැම් ග්‍රන්ථවල තිබුණා ලෝකය පැතලියි, කෙළවරක් තියෙනවා, තැටියක් වගෙයි කියලා. නමුත් දැන් අපි හැම දෙනාම දන්නවා, හඳට ගිහින් 50 වසරක් වෙනවා, අභ්‍යවකාශයට ගිහින් 70 කිට්ටු වෙන්න එනවා. ඒ නිසා මේ ලෝකය පැතිලි, තැටියක්, පිඟානක් වගේ දෙයක් නෙමෙයි කියලා. ඒ නිසා යථාර්ථයත් ඉගැන්වීමත් අතරේ ගැටලූවක් තිබෙන විත්තිය අපට පෙනෙනවා.
ඊළඟට සාමාන්‍යයෙන් අපට පේන දෙයක් තමයි මේ ලෝකය වටේ ග්‍රහ තරු ඉර හඳ කැරකෙන්නේ කියලා තමයි අපේ ශුද්ධ ග්‍රන්ථවල ලියවිලා තිබෙන්නේ. නමුත් ග්‍රහතරු පොළවේ සිටින අපට අප වටේ කැරකෙනවා වගේ සාපෙක්ෂව දැනුණත් පොළව සූර්යයා වටේත්, සූර්යා ඇතුළු සෞරග්‍රහ මණ්ඩලය තවත් ආකාරයකට හැසිරෙන බව. ඒ නිසා මෙ යථාර්ථය පොත පතේ ලියැවී තිබෙන ආකාරයයි අතර විශාල පරතරයක් තිබෙනවා. යථාර්ථය පිළිගන්නට අපි ඉදිරිපත් විය යුතුයි" යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
කෂිනි හපුආරච්චි