රජයේ විවිධ සංවර්ධන කටයුතුවලට සම්බන්ධ වී මෙතෙක් බිල්පත් ගෙවා අවසන් කර නොමැති ඉදිකිරීම් ඇතුළු අනෙකුත් ක්ෂේත්රවල රජයේ කොන්ත්‍රාත්කරුවන් සහ සැපයුම්කරුවන් 303 දෙනෙකුට බැංකු මගින් ණය පහසුකම් ලබා ගැනීම සඳහා, අදාළ බැංකු වෙත භාණ්ඩාගාරය මගින් ‘හිග බිල්පත් නිරවුල් කිරීම තහවුරු කිරීමේ ලිපි’ නිකුත් කර තිබේ.
එම කොන්ත්‍රාත්කරුවන් සහ සැපයුම්කරුවන් සැපයූ සේවාවන් සඳහා වන හිඟ බිල්පත්වල වටිනාකම රුපියල් බිලියන 9.6කි. 2020 මැයි මස 31 වැනි දිනයට වාර්තාවී ඇති 2019 සහ 2020 වසරවලට අදාළ හිඟ මුදල්වලට අදාළව මෙම ලිපි නිකුත් කිරීම ආරම්භ වූ අතර අගෝස්තු මස 31 වැනි දා එම ලිපි නිකුත් කිරීම අවසන් විය.
මේ අතරින් වැඩිම ලිපි ප්‍රමාණයක් නිකුත් කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයට අදාළ ව්‍යාපෘති වෙනුවෙන් වූ හිඟ මුදල් සඳහා ය. එම ප්‍රමාණය ලිපි 116කි. මහා මාර්ග අමාත්‍යාංශයට අදාළ ව්‍යාපෘති වෙනුවෙන් වූ හිඟ මුදල් සඳහා ද කොන්ත්‍රාත්කරුවන් සහ සැපයුම්කරුවන් 109 දෙනෙකුට අදාළ ලිපි නිකුත් කර තිබේ.
මීට අමතරව, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය, ක්‍රීඩා අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලීසිය, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය සහ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයට අදාළ ව්‍යාපෘතිවල හිඟ බිල්පත් සඳහා හිග බිල්පත් නිරවුල් කිරීම තහවුරු කිරීමේ ලිපි නිකුත් කර ඇත.
අදාළ කොන්ත්‍රාත්කරුවන් විසින් නම් කරනු ලබන බලපත්‍රලාභී වාණිජ බැංකුවක් සඳහා පමණක් මෙම ලිපි නිකුත් කෙරුණු අතර අදාළ හිග මුදල් ගෙවීම සඳහා එසේ නම් කරනු ලැබු වාණිජ බැංකුවේ කොන්ත්‍රාත්කරු නමින් විශේෂ ගිණුමක් ආරම්භ කළ යුතු විය.
හිඟ මුදල් කොටස් වශයෙන් මේ වන විටත් භාණ්ඩාගාරය මගින් අදාළ සේවාලාභී අමාත්‍යාංශය/ දෙපාර්තමේන්තුව වෙත නිදහස් කිරීමට කටයුතු කර ඇති අතර එම අරමුදල් භාවිත කරමින් අදාළ අමාත්‍යාංශය/ දෙපාර්තමේන්තුව විසින් කොන්ත්‍රාත්කරුවන්ගේ නමින්වු විශේෂ බැංකු ගිණුම හරහා පමණක් අදාළ බිල්පත් නිරවුල් කිරීම සිදු කරනු ලැබේ. ‘ආර්ථික පුනර්ජීවනය සඳහා පහසුකම් සැලසීම’ මැයෙන් 2020 ජූනි මස 06 වැනි දින අමාත්‍ය මණ්ඩලය විසින් ගන්නා ලද තීරණයට අනුව මෙම පහසුකම් සැලසීම ක්‍රියාත්මක ය.