එක්සත් ජනපදයේ කථානායක නැන්සි පෙලෝසිගේ මේසයේ වාඩි වී සිටින ඡායාරූප ගත් පුද්ගලයා අත්අඩංගුවට ගෙන පොදු දේපළ සොරකම් කිරීම ඇතුළු ෆෙඩරල් නීති තුනක් සම්බන්ධයෙන් චෝදනා ගොනුකර තිබේ.
ෆෙඩරල් නිලධාරීන් පැවසුවේ ආකැන්සාස් හි රිචඩ් බාර්නෙට් නමින් හැඳිනගත් මෙම පුද්ගලයා ලිට්ල් රොක්හිදී අත්අඩංගුවට ගත් බවයි.
අධිකාරියක් නොමැතිව දැනුවත්ව ඇතුළුවීම සහ සීමිත ගොඩනැඟිලි භූමියක රැඳී සිටීම, කැපිටල් භූමියට ප්රචණ්ඩකාරී ලෙස ඇතුළුවීම සහ අක්රමවත් ලෙස හැසිරීම සහ පොදු දේපළ සොරකම් කිරීම යන චෝදනා යටතේ බාර්නෙට්ට එරෙහිව නඩු පවරා තිබේ.
මීට අමතරව, කැපිටල් ගොඩනැගිල්ලේ දකුණු පැත්තේ තිබී සොයාගත් නල බෝම්බය, මොලොටොව් කොක්ටේල් 11ක් සහ ඔහුගේ පිකප් ට්රක් රථයේ තිබී සොයාගත් මිලිටරි ආකාරයේ ආයුධ සම්බන්ධයෙන් ඇලබාමා හි පදිංචිකරුවෙකුට එරෙහිව නඩු පවරා තිබේ.
"ඔබ මේ කලහයට සම්බන්ධ වී වොෂිංටන් ඩීසී කලාපයෙන් ඉවත්ව ගිය පමණින් ඔබට බේරීමට හැකියාවක් නැහැ. ඔබ කැපිටල් හි සාපරාධී ක්රියාකාරකම්වල කොටසක් බව අපට දැනගන්නට ලැබුණොත්, ඔබේ නිවසේ දොරට තට්ටු කළ හැකියි" යනුවෙන් වොෂිංටන් ක්ෂේත්ර කාර්යාලයේ සහකාර අධ්යක්ෂ ස්ටීවන් ඩී ඇන්ටූනෝ පැවසීය. "මොකද එෆ්බීඅයි මෙම විමර්ශනයේදී කිසිදු අයෙකුට පැනයාමට අවස්ථාවක් දෙන්නේ නැහැ" ඔහු පැවසීය.
මේ අතර එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව ඊයේ නිවේදනය කළේ බදාදා කැපිටල් හි ඇති වූ කෝලාහලය සම්බන්ධයෙන් 13 දෙනෙකු ෆෙඩරල් චෝදනාවලට ලක්ව ඇති බවය. සියලුම විත්තිකරුවන් සඳහා සම්පූර්ණ අධිකරණ වාර්තා තවමත් ලබාදී නොමැති අතර, උසාවිය හමුවේ පෙනී සිට ඇත්තේ පුද්ගලයන් අතලොස්සක් පමණක් බවද කීය. කෙසේ වෙතත් නඩු පවරා ඇති අයට අමතරව, අධිකරණ දෙපාර්තමේන්තුව පවසන්නේ අතිරේක පැමිණිලි ඉදිරිපත් කර ඇති බවත්, පරීක්ෂණ දිගටම කරගෙන යන බවත්ය.