මත්ද්‍රව්‍ය වැටලීම් කරන පොලිස් නිලධාරීන් සටහන් යෙදීමේදී සිදුකරන දුර්වලතා හේතූවෙන් මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවන් නිදහස්ව යෑම කණගාටුදායක තත්ත්වයක් යැයි කුඩු ග්‍රෑම් 198 ක් ළඟ තබාගෙන සිටියදී මීට වසර 08 කට පෙර පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් විසින් කොළඹ පුරහල ප්‍රදේශයේදී අල්ලා ගන්නා ලද කුඩු ජාවාරම්කරුවකු නිදහස් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කලුආරච්චි මහතා අද (15) පැවසීය.
පැමිණිල්ලේ සාක්කි පරස්පරවීම හා වැටලීම කළ නිලධාරීන්ගේ සටහන් වල ඇති දුර්වලතා හේතුවෙන් විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නැතැයි තීන්දු කොට ඔහු නිදහස් කරමින් විනිසුරුවරයා එලෙස සඳහන් කළේය.
චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නැතැයි තීන්දු කරමින් මෙලෙස නිදොස් කොට නිදහස් කරන ලද්දේ එම්. ධනසිරි නමැත්තෙකි.
2012 සැප්තැම්බර් මස 26 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ පුරහල ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 198.19 ක් ලඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනා යටතේ නීතීපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව චෝදනා නඟා තිබිණි.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී අදාළ දින පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් විසින් කොළඹ පුරහල ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී මෙම විත්තිකරු හෙරොයින් තොගයක්ද සමඟ අල්ලා ගත් බව හෙළි විය.
විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන්ගේ හරස් ප්‍රශ්න වලදී වැටලීම සිදුකළ පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන්ගේ සාක්කි පරස්පර බව මෙන්ම මෙම වැටලීම සම්බන්ධයෙන් ඔවුන් විසින් තබන ලද සටහන් වල දුර්වලතාවයන් ඇති බවද හෙළි විය.
මෙවැනි විශාල හෙරොයින් තොගයක් පොලිස් නිලධාරීන් විසින් විත්තිකරුට හඳුන්වා දුන් බව සිතීමට හැකියාවක් නොමැති වුවත් විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නොමැති බව තීන්දු කළ විනිසුරුවරයා සියලු චෝදනා වලින් ඔහු නිදොස් කොට නිදහස් කළේය.