පරාජය කල කොටි ත්‍රස්තවාදය කිරි පොවා යලි පෝෂණය කලේ පසුගිය යහපාලන ආණ්ඩුව බව කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ඔහු අවධාරණය කලේ 2009 දි රණවිරුවන් දිවි පුදා රටට ලබා දුන් යුද ජයග්‍රහණය රනිල් මෛත්‍රි යහපාලන ආණ්ඩුව විසින් ආපස්සට හැරවීමට කටයුතු කරමින් සිටින බවයි.
දිවයින පුරා සෑම මැතිවරණ බල ප්‍රදේශයකම පළාත් පාලන මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත ‘‘ගම දැනුවත් කරමු - යලිත් අපි නැගිටිමු" වැඩසටහන් මාලාව පිලිබද ගම්පහ දිස්ත්‍රික්කයේ දේශපාලන නායකයින් දැනුවත් කිරීම සදහා පැවති රැස්වීමකදි ඇමතිවරයා මේ බව සදහන් කළේය.
ගම දැනවත් කරමු - යලිත් අපි නැගිටිමු රැස්වීම් මාලාව හරහා දිවයිනේ සියලුම පළාත් පාලන මන්ත්‍රීවරු කොරෝනා වසංගතය පාලනය කිරීම සදහා රජය ගත් ක්‍රියාමාර්ග හා ජනතාවට සහන සැලසීමට ගත් පියවර සම්බන්ධයෙන් දැනුවත් කිරීමට නියමිතයි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා ,
‘‘එදා වසර 30 පැවති යුද්ධය අවසන් කිරීමට රාජපක්ෂ සොහොයුරන් සමත් වුනා වගේම අද අපේ රටට බලපෑ කොරෝනා ව්‍යාප්තිය නතර කිරීමටත් මහින්දගෝඨාභය සුසංයෝගයට හැකියාව ලැබී තිබෙනවා. ම්ලේච්ඡ කොටි ත්‍රස්තවාදය පරාජය කරලා ඉතිහාස ගත වුනා වගේම ඔවුන් කොරෝනා වසංගතය පරාජය කරලා ඉතිහාස ගත වෙනවා. සෞඛ්‍ය අංශ කියන්නේ මේ වෙනකොට රටේ ජනතාව අතර කොරෝනා වසංගතය පැතිරීම පාලන කර තිබෙන බවයි. සෞඛ්‍ය අංශ වගේම ආරක්ෂක අංශ කැපවීම මෙහිදි ඉතා ප්‍රශංසනීයයි. කොරෝනා පාලන කරන අතරතුර සාමාන්‍ය ජනතාව බලාගත්ත මේ වගේ ආණ්ඩුවක් ලෝකේ වෙන කොහෙවත් නැහැ.
ඇදිරිනීතිය පනවලා කොරෝනා ව්‍යාප්තිය පාලනය කරන අතරතුර ජනතාවට අවශ්‍ය ආහාර පාන ගෙවල් ලගටම යවන්න අපි කටයුතු කළා ඒ වගේම ආර්ථික පිඩාවට පත්වෙච්ඡ ජනතාවට රුපියල් 5000 ක දිමනාවක් ලබා දීමට කටයුතු කලා. පහුගිය මාසයේ අපි මේ 5000 දිමනාව අපි පවුල් ලක්ෂ 74 කට ගෙව්වා. මේ මාසෙත් අපි ඒක ගෙවනවා. ලබන මාසෙත් අපි ඒක ගෙවන්න කටයුතු කරමිනුයි හිටියේ. නමුත් ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව පවසමින් කිඹුල් කදුලු හෙලන විපක්ෂය ඒ ගැන මැතිවරණ කොමිසමට පැමිණිලි කර තිබෙනවා. ඔවුන් කියලා තියෙන්නේ මේ රුපියල් 5000 හේ දීමනාව දෙන එක නවත්තන්න කියලයි. ජනතාවට සහන සලසනකොට ඒකට විරුද්ධ වන ලෝකේ එකම විපක්ෂයේ ඉන්නේ අපේ රටේ. මේ අය කියන්නේ නම් ජනතාවට පණ වුනත් දෙන්න ලැස්තියි කියලයි. හැබැයි. 5000 දෙන්න එපා කියලා මැතිවරණ කොමසාරිස්ට පැමිණිලි කරනවා. විපක්ෂය සිදු කරන්නේ දවල් මිගෙල් රෑ දැනියෙල් ප්රතිපත්තියයි.
මහ මැතිවරණය කියන්නේ රටේ ප්‍රජාත්‍රන්තවාදි අයිතියක් හැබැයි එක්සත් ජාතික පක්ෂයටත් ජනතා විමුක්ති පෙරමුණටත් මහ මැතිවරණය කියන්නේ නයාට අදුකොල වගේ ඔවුන් හදන්නේ කොක්කෙන් හරි කෙක්කෙන් හරි මහා මැතිවරණය කල් දාලා පරණ පාර්ලිමේන්තුව නැවත රැස්කර ගන්නයි. ඒකට තමයි. ඔය උසාවි බඩගැවේ. ජනතාව ජිවත් විමේ අයිතිය වගේම ජනතාවගේ ජන්ද අයිතියත් උදුරාගන්නැයි විපක්ෂය මේ කටයුතු කරන්නේ".