කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ මහජන ආලින්දය 2020.12.05 දින උදෑසන 9.00 ට නැවත අමුත්තන් සදහා විවෘත කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබේ .
ඒ අනුව එක් ගුවන් මගියෙකුට එම මහජන ආලින්දය වෙත එක් අමුත්තෙකු පමණක් රැගෙන ඒමට අවසර හිමිවේ .
එහිදී පැමිණෙන අමුත්තන් සහ ගුවන් මගීන් මුහුණු ආවරණ පැළදීම , සමාජ දුරස්ථභාවය රැකීමට කටයුතු කිරීම අනිවාර්ය වේ .
එසේම පැමිණෙන අමුත්තන් තවදුරටත් ගුවන් තොටුපළ මගින් ක්‍රියාත්මක කරනු ලබන සෞඛ්‍ය පිළිවෙත් සහ මාර්ගෝපදේශ පිළිපැදිය යුතු බව ද ගුවන් තොටුපළ මෙසේ නිවේදනය කර සිටී .
එසේම කොවිඩ් - 19 ගෝලීය වසංගත තත්වය මත අනිවාර්ය නීරෝධායන ක්‍රියාපටිපාටියට යොමු වීම හේතුවෙන් , තම ගමන් මලු දීමනාව (තීරු බදු සහනය යටතේ භාණ්ඩ මිලදී ගැනීමට ) භාවිතා කිරීමට නොහැකි වූ ගුවන් මගීන්ට , තම නීරෝධායන ක්‍රියාවලිය අවසන් වූ දා සිට උපරිම මාසයක කාළය තුළ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ , එහි පැමිණීමේ පර්යන්තයේ පිහිටි තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ වෙළෙඳ සැල් වලින් භාණ්ඩ මිලදී ගැනීමට ඉඩ ප්රස්ථා සළසා දී තිබේ .
ඒ සදහා පහත දුරකථන අංකය (0112263017 ) ඔස්සේ අමතා වැඩිදුර විස්තර ලබා ගෙන , ලියාපදිංචි වීම සිදු කර ගත යුතු බව ද ගුවන් තොටුපළ දන්වා සිටී.
කටුනායක ටී.කේ.ජී.කපිල