කොකේන් භාවිත කරන මැති ඇමතිවරන් සිටින බවට තමන් කළ චෝදනා විභාග කිරීමේ හැකියාවක් එම එක්සත් ජාතික පක්ෂය විසින් පත්කළ කමිටුවට නොමැති බවත්, ඒ සඳහා පහසුකම් ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයට බවත් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවැසීය.
එම කමිටුවේ වාර්තාව පිළිගන්නේද යන්න පිළිබඳව අද කළ විමසුමකදී ඔහු මේ බව සඳහන් කළේය. එසේම තමා සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව ලබාදෙන වාර්තා පිළිගැනීමට සූදානම් නොමැති බවද ඔහු කීය.
රන්ජන් රාමනායක මහතා කළ මෙම ප්‍රකාශය පිළිබඳ සොයා බැලීම සඳහා එක්සත් ජාතික පක්ෂය කමිටුවක් පත්කළ අතර, එහි සභාපතිවරයා ලෙස අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා කටයුතු කළේය. සෙසු සාමාජිකයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එරාන් වික්‍රමරත්න, මහාචාර්ය ආශු මාරසිංහ හා නීතිඥ මහේෂ් කළුගම්පිටිය මහත්වරු කටයුතු කළහ.
කොකේන් භාවිත කරන මැති ඇමතිවරුන් සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කළ ප්‍රකාශය ඔප්පු කළ නොහැකි බවත්, ඒ සඳහා තවත් සාක්ෂි අවශ්‍ය බවත් එක්සත් ජාතික පක්ෂය පත්කළ කමිටුව සඳහන් කර තිබේ
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යරන්ජන් රාමනායක මහතා,
“මේ චෝදනා විභාග කරන එක එක්සත් ජාතික පක්ෂයට හෝ කමිටුවලට බෑ. මේ චෝදනා විභාග කළ යුතු වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ අන්තරායකර ඔෂධ පාලක මණ්ඩලය විසිනුයි. ඒ ආයතන තුළ තමයි මේ වගේ චෝදනාවක් විභාග කිරීමට පහසුකම් හා දැනුම තිබෙන්නේ.
කෘත්‍යාධිකාරී මණ්ඩලයට වාර්තාවක් ආවම ඒ වාර්තාවත් යොමුකරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටනේ. ඒ වාර්තාව ලැබෙන තෙක් අපි ඉමු.
එක්සත් ජාතික පක්ෂයේ කමිටු වාර්තාවේ තිබෙන්නේ මම කියන දේ ගැන ඒ කමිටුවේ අය දරණ මතයයි. පක්ෂයක් වශයෙනුයි ඒ තීරණය ගත්තේ. එය විවේචනය කරන්නේ නෑ.
මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ ගැන දැනුම් දී තිබෙනවා. ඔවුන් මට ඉදිරියේදී කැඳවීමක් කරාවි. මම කටඋත්තරයක් දෙනවා වාචිකව. මගේ අභියෝගය තමයි පුළුවන් නම් මම කිව්ව ටෙස්ට් එක (Drug abuse screening profile) කරන්න. ඒක දැනට මමයි, බුද්ධිකයි (නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ) විතරයි කරලා තියෙන්නේ. ඒ ටෙස්ට් එකෙන් පාස් වෙන්න. ඒක අරගෙන අපි තීරණය කරමු. එක එක්කෙනා මම ගැන දෙන වාර්තා පිළිගන්න කැමති නෑ. ඒවා මට වැඩක් නෑ.”
කොකේන් භාවිත කරන බව කියන අදාළ නම් ලැයිස්තුවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් නොමැති බවට හර්ෂද සිල්වා මහතා කළ ප්‍රකාශය ගැන විමසීමේදී රන්ජන් රාමනායක මහතා සිනහවෙන් පිළිතුරු දුන් අතර,“ඔහු සිනහවිය” ලෙස සටහන් කරගන්නා ලෙසද සඳහන් කළේය.