ඔස්ට්‍රේලියාවේ විශාලතම නගරයේ සුපිරි වෙළෙඳ සැල්, සාප්පු සහ වෙනත් ගෘහස්ථ අවකාශයන්හි මුඛ ආවරණ භාවිතය අනිවාර්ය කර තිබේ.
ඒ අනුව සිඩ්නි නුවර අද (03දා) සිට ගෘහස්ථ අවකාශයන්හි මිනිසුන් මුඛ ආවරණ පැළඳිය යුතු අතර, නව පියවර උල්ලංඝනය කරන්නන් හෙට (04දා) සිට ආරම්භ වන දඩයකට යටත් වනු ඇති බව කියයි.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ආණ්ඩුකාර ග්ලැඩිස් බෙරෙජික්ලියන් සෙනසුරාදා සිඩ්නි සඳහා නව රෙගුලාසි ප්‍රකාශයට පත් කළේය.
ඒ අනුව මෙහි දැක්වෙන සඳහන් ස්ථානවල මුඛ ආවරණ නොමැතිව සිටින පුද්ගලයන්ට ඔස්ට්‍රේලියානු ඩොලර් 200ක (ඇ.ඩොලර් 154ක) දඩ මුදලක් නියම කෙරෙනු ඇත.
- සාප්පු සංකීර්ණ
- සුපිරි වෙළඳසැල්
- පොදු ප්‍රවාහන
- සිනමා හල් වැනි ගෘහස්ථ විනෝදාස්වාද ස්ථාන
- ආගමික ස්ථාන
- හිසකෙස් හා රූපලාවණ්‍යාගාර
- කැසිනෝ ඇතුළු සූදු මධ්‍යස්ථාන
- සියලුම ආගන්තුක සත්කාරක ස්ථානවල සහ කැසිනෝවල කාර්ය මණ්ඩලය මුඛ ආවරණ පැලඳිය යුතුය.
පසුගිය වසරේදී බොහෝ සංචාරකයින්ට එහි දේශසීමා වසා දමා දැඩි අගුලු දැමීමෙන් ඔස්ට්‍රේලියාවට වෛරසය පැතිරීම සාර්ථකව නතර කිරීමට හැකි විය. කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය සංචාරකයන් කේන්ද්‍ර කරගනිමින් මෑත දිනවල යළි ආසාදිතයන් ඉස්මතු වීම නිසා ඔවුන් මෙම කඩිනම් පියවර ගනිමින් සිටින්නේ අශ්වයා ගියාට පසු ඉස්තාලය වැසීමෙන් පළක් නොමැති බව එරට පාලකයන් මනාව අවබෝධ කරගෙන සිටින නිසාය.