ඔස්ට්‍රේලියාව සයිබර් හිරිහැර මැඬපැවැත්වීම සඳහා අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය පාලනය කිරීම සඳහා අලුතින් නීති සම්පාදනය කිරීමට යයි.
ඒ අනුව බදාදා ඉදිරිපත් කරන ලද නව අන්තර්ජාල ආරක්ෂණ කෙටුම්පත් නීති මගින් වෙබ් අඩවි සහ ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය වේදිකා තුළ පළ කෙරෙන හානිකර හෝ අපයෝජන අන්තර්ගතයන් පැය 24 ක් තුළ ඉවත් කිරීමට අපොහොසත් වුවහොත් දඩ හෝ ඒවා අවහිර කිරීම සිදුකරන බව පවසයි.
ඔස්ට්‍රේලියාවේ අන්තර්ජාල ආරක්ෂන කොමසාරිස්වරයාට මෙම අපයෝජන අන්තර්ගතයන් පතුරවන අයගේ අනන්‍යතා හෙළි කිරීමට බලය පැවරී ඇත.
වසංගතය අතරතුර සයිබර් හිරිහැර කිරීමේ සිදුවීම් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවත්, බොහෝ අය නිවසේ සිරවී සිටින නිසා සාමාන්‍යයෙන් ඩිජිටල් සන්නිවේදනයන් මත රඳා පැවතීම මීට හේතුව බවත් කියයි.
"අන්තර්ජාලය මගින් විශාල සමාජ, අධ්‍යාපනික හා ආර්ථික ප්රතිලාභ ලබා දී තිබෙනවා" යැයි එරට යටිතල පහසුකම්, ප්‍රවාහන, ප්‍රාදේශීය සංවර්ධන හා සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. "නමුත් සුඵ පිරිසක් අන්තර්ජාලය තුළ මෙය වැරදි භාවිතයක් සිදුකරමින්, අවදානමක් ඇති කර තිබෙනවා. අත්දැකීම්වලින් පෙන්නුම් කර ඇත්තේ බොහෝ අන්තර්ජාල වේදිකාවල අවශ්‍ය ආරක්ෂිත අංග නොමැති බව හෝ ඔවුන්ගේ සේවා කොන්දේසි නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වී ඇති බවයි."
එරට නව අන්තර්ජාල ආරක්ෂණ පනත යටතේ, වෙබ් අඩවි සහ ඇප්ස්වල ප්‍රචණ්ඩකාරී හෝ හානිකර අන්තර්ගතයන් හෝ රූප මත පදනම් වූ අපයෝජනය, සයිබර් අපයෝජනය සහ සයිබර් හිරිහැර කිරීම් සමග සම්බන්ධ වී ඇති අන්තර්ගතයන් ඉවත් කිරීමට අපොහොසත් වුවහොත් එය දැනුම් දීමෙන් පසු පැය 24ක් තුළ අවහිර කිරීමට කටයුතු කරනු ඇත. වත්මන් නීතිය ඔවුන්ට පැය 48ක් ලබා දෙයි.
ඉවත් කිරීමේ දැන්වීමට අනුකූල නොවීම හේතුවෙන් සමාගම්වලට ඇමෙරිකානු ඩොලර් 419,000 සහ පුද්ගලයන්ට ඇමෙරිකානු ඩොලර් 84,000ක් දක්වා දඩ නියම කළ හැකි බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි.