ඔස්ට්‍රේලියාවේ කොවිඩ්-19 ආසාදිත කාන්තාවක් සහ ඇගේ ස්වාමිපුරුෂයා රටේ ආසාදන සම්ප්‍රේෂණය වූ නවතම කේන්ද්‍රස්ථානය වන වික්ටෝරියා ප්‍රාන්තයේ සිට නිව් සවුත් වේල්ස් හරහා සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට ගොස් ඇති බව අනාවරණය වීමත් සමග එම ප්‍රාන්ත දෙකෙහිම කොවිඩ්-19 සම්බන්ධ සෝදිසිය ඉහළ දමා තිබේ.
මේ තත්ත්වයත් සමග නිව් සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ත බලධාරීන් සමීප සම්බන්ධතා සොයා ගැනීමට සහ වෛරස් උණුසුම් ස්ථාන සොයා ගැනීමට යුහුසුළු වෙමින් සිටින බව වාර්තා වෙයි. එසේම කොවිඩ්-19 සමග ප්‍රාන්ත අතර සංචරණ සීමා උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මෙම යුවළට අපරාධ චෝදනා එල්ල විය හැකි බවද කියයි.
44 හැවිරිදි මෙම කාන්තාව ක්වීන්ස්ලන්තයේදී මුලින්ම කොවිඩ්-19 ධනාත්මක බව පරීක්ෂාවට ලක්ව ඇති අතර, පසුව ඇගේ සැමියාද වෛරසයට ධනාත්මක බව තහවුරු කරගෙන තිබේ.
මෙම යුවළගේ පරීක්ෂණවලට අනුව ඔවුන් බෝවන කාලය අවසානයේ සිටියා විය හැකි යැයි ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය යෙවෙට් ඩි ආත් අද (10දා) බ්‍රිස්බේන් නුවරදී මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේය.
"මෙයින් අදහස් කරන්නේ අවදානම අපි ඊයේ බලාපොරොත්තු වූවාට වඩා අඩු බවයි. එය සැබවින්ම ධනාත්මක ප්‍රවෘත්තියක්" යැයි ඩී ආත් පැවසීය. එමෙන්ම මේ දක්වා වෙනත් කිසිදු සිද්ධියක් ප්‍රාන්තයෙන් වාර්තා වී නොමැත.
ඔස්ට්‍රේලියාව තුළ වසංගතය ආරම්භයේ සිට මේ දක්වා ආසාදිතයන් 30,200කට වඩා වැඩි සංඛ්‍යාවක් සහ මරණ 910ක් පමණක් වාර්තා වී ඇති අතර, හදිසි අගුලු දැමීම්, කලාපීය දේශසීමා පාලනයන් සහ වේගවත් සම්බන්ධතා සොයාගැනීම් හරහා ඔස්ට්‍රේලියාව බොහෝදුරට වසංගතය ප්රශස්ත ලෙස පාලනය කළේය. ඔවුන් මේ වසරේ බොහෝ දිනවල එකදු රෝගීයෙකු හෝ වාර්තා නොකළේය.
කෙසේ වෙතත් ක්වීන්ස්ලන්ත බලධාරීන් කියා සිටියේ මෙල්බර්න් නුවරින් පැමිණ සිටි මෙම යුවළට ඔවුන්ගේ මව්බිම වන වික්ටෝරියා ප්‍රාන්තය දැඩි ලෙස වසා දමා තිබියදීත් ප්‍රාන්තයට ඇතුළුවීම සඳහා සංචරණ නිදහස් කිරීමක් තිබේද යන්න පිළිබඳව විමර්ශනය කරන බවයි.
පවතින අවදානම් තත්ත්වය හේතුවෙන් ජනප්‍රිය සංචාරක ස්ථානයක් වන සන්ෂයින් කෝස්ට් සහ කලාපීය ප්‍රදේශ දෙකක් සඳහා ක්වීන්ස්ලන්තය අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. මේ අතර නිව් සවුත් වේල්ස් බලධාරීන් පැවසුවේ මෙම යුවළ පසුගිය සතියේ දින පහක් තුළ වැඩි වශයෙන් ප්‍රාන්තයේ නගර හරහා ගමන් කර ඇති බවයි.
"අපගේ ප්‍රාන්තයේ ප්‍රජාවන්ට ඉතා සුපරීක්ෂාකාරීව සිටින ලෙස පුළුල් ලෙස පණිවුඩය යවා තිබෙනවා. මෙය අපට සැබෑ හා වර්තමාන අනතුරක් බව අමතක නොකළ යුතුයි. ධනාත්මක පුද්ගලයන් සිටීම, අපේ ප්‍රාන්තය හරහා විවිධ ස්ථානවල නතර වීම අපගේ ප්‍රාන්තය අවදානමට ලක්කර තිබෙනවා" යනුවෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය බ්‍රැඩ් හැසර්ඩ් පැවසීය.
රටේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රාන්තය වන නිව් සවුත් වේල්ස්, මාසයකට වැඩි කාලයක් තුළ දේශීයව හඳුනා ගත් කොවිඩ්-19 ආසාදිතයන් වාර්තා කර නොමැති අතර, ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ අවසන් වරට වාර්තා වූයේ මාර්තු අගදීය.
මේ අතර අද (10දා) දිනයේ වික්ටෝරියා විසින් දේශීය වශයෙන් හඳුනාගත් නව ආසාදිතයන් හතරක් වාර්තා කළ අතර, දිනකට පෙර වාර්තා වූ එක් සිද්ධියක් හා සසඳන විට, නවතම කොවිඩ් පොකුරේ සමස්ත ආසාදන 90ක් දක්වා ගෙන ගියේය.
මෙල්බර්න් නගරය අද (10දා) රාත්‍රියේ සති දෙකක අගුලු දැමීමකින් මිදීමට සූදානම් වන විට, එකම නිවසකින් මෙම ආසාදිතයන් සිව්දෙනාම හඳුනාගෙන ඇත. කෙසේ වෙතත් මෙම නව ආසාදිතයන් සිව්දෙනා වෙනත් පොකුරු හා සම්බන්ධ නොවන නිසා, පවතින අඩු අවදානම් මට්ටම් හේතුවෙන් මෙල්බර්න් හි අගුලු දැමීම ඉවත් කිරීම එලෙසම ඉදිරියට යන බව වික්ටෝරියා ප්‍රාන්තයේ වැඩබලන මහ ඇමති ජේම්ස් මර්ලිනෝ පැවසීය.
මේ අතර නවසීලන්තය අප්‍රේල් මාසයේදී ඔස්ට්‍රේලියානු සංචාරකයින් සඳහා නිරෝධායන රහිත ගමන් ආරම්භ කළ නමුත් පසුගිය මාසයේ අගභාගයේදී වික්ටෝරියා සමග ඔවුන්ගේ සංචාරක බුබුලු සංචරණය වහාම නවතා දැමීය.