ඔරිජිනල් ශ්‍රී ලාංකිකයෙකු වන ඔරිජිනල් ශ්‍රී ලාංකිකයන් සමග වැඩ කරන මුළු ශ්‍රී ලාංකීය ජාතියටම සේවයක් කළ හැකි කෙනා ජයග්‍රහණය කරවන ලෙස නව ප්රජාතන්ත්රවාදි පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද (13දා) සිය අවසන් ජන රැළිය අමතමින් ප්‍රකාශ කළේය.
“අද අපි පවත්වන්නේ ජනාධිපති මැතිවරණ ව්‍යාපාරයේ 149 වන ජන රැළියයි. හම්බන්තොට ජනතාව 1994 සිට මේ දක්වා මා හට දැක්වූ සහයෝගය අති විශිෂ්ඨයි. ජයග්‍රාහී ජනතා රැල්ලක් අපි නිර්මාණය කර තිබෙනවා. ලබන 17 දා අපට නියත ජය. අනිවාර්යෙන්ම අපි ජයගන්නවා ඒක ස්ථිරයි. ඒකාන්තයි. පක්ෂ පාට ජාති ආගම් කුළමල බේදයෙන් තොරව හංසයාගේ සජිත් ප්‍රේමදාසගේ දිනන රැල්ලට එකතු කර ගන්න කියලා මම සියළු දෙනාගෙන් ඉල්ලනවා.
හම්බන්තොට වෙනුවෙන් අපි දැවැන්ත සංවර්ධන සැලැස්මක් නිර්මාණය කර තිබෙනවා. එම සැලැස්ම උදෙසා මේ ප්‍රදේශයේ සංචාරක ක්ෂේත්රය දියුණු කිරිමට දැවැන්ත වැඩ කොටසක් සකස් කර තිබෙනවා මේ මෙහි කිරිගොවි ප්‍රජාව වෙනුවෙන් රට කිරෙන් ස්වයං පෝෂිත කිරිම උදෙසා තෘණ භූමි ලබා දෙමින් සැලැස්මක් ඇතිව කිරි ගොවියා රැක ගන්න වැඩපිළිවෙල අපි සකස් කර තිබෙනවා.
මුළු මහත් ශ්‍රී ලංකාවේ ධීවර ප්‍රජාව වෙනුවෙන් අවුට්බෝඩ් මෝටර් පන්න කරන අය වෙනුවෙන් තෙල් සහනාධාරයක් ලබා දෙනවා. ඊට අමතරව ධීවර උපකරන මෙවලම් සහන ක්‍රමයට ලබා දෙනවා. මේ ප්‍රදේශයේ ලුණු නිෂ්පාදනය ඇතුළු සාම්ප්‍රදායික කර්මාන්ත දියුණුවට දැවැන්ත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා.
දුප්පත්කම තුරන් කිරිම වෙනුවෙන් සමෘද්ධි වැඩසටහන අපි ශක්තිමත් කරනවා. කෙටි කාලයකින් රටේ ජනතාව දුප්පත්කමින් මුදවන්න රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ජනසවියයි සමෘද්ධියයි දෙකම ලබා දෙනවා. දිවා ආහාරයයි නිල ඇදුම් දෙකම ලබා දුන්නේ මගේ දිවංගත පියාණන්. මගේ ප්‍රතිවාදියා නියෝජනය කරන දේශපාලන කල්ලිය තමයි දරුවන්ගේ දිවා ආහාරය කොල්ල කෑවේ. ලබන 16 දා නියත වශයෙන් ජනාධිපතිවරයා ලෙස පත්වූ පසු මෙරට 44 ලක්ෂයක් පාසල් දූ දරුවන්ට නිල ඇදුම් කට්ටල දෙකයි සපත්තු කුට්ටමයි දිවා ආහාරයයි අනිවාර්යයෙන්ම ලබා දෙනවා.
මේ රටේ බිහිවූ කිසිම ජන නායකයෙක් නොකල ඓතිහාසික පියවරක් අපි ගන්නවා. මේ රටේ ආහාර නිෂ්පාදනය, කෘෂි නිෂ්පාදනය ඉහළට ඔසවලා අදට වැඩිය වැඩ ප්‍රතිශතයකින් දළ දේශීය නිෂ්පාදනයට කෘෂිකර්මය දායක කර ගන්නවා. කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහලට යනකොට ජාතික නිෂ්පාදනය ඉහල යනවා. එවිට සාමාන්‍ය ජනතාවගේ අතමිට සරු වෙනවා. ජාතික ආදායම වැඩි වෙන කොට අපේ රටේ තිබෙන ණය බරතාවයේ පොලියයි ප්‍රාග්ධනයයි ගෙවිමට හැකි වෙනවා. එවිට ඊළග පරපුරට ණය බරක් නොමැති මාතෘභූමියක් දායාද කරන්නට අවස්ථාව ලැබෙනවා.
එම නිසා වී වගාව වෙනුවෙන් කට වචනයෙන් නොවෙයි පාර්ලිමේන්තුවේ නීතියක් හරහා කිලෝවකට රුපියල් 50 සහතික මිල අපි නීතිගත කරනවා. වී වගාවත්, තේ, පොල්, රබර් වගාවත්, එළවළු, පළතුරු වගාවත්, හේන් ගොවි වගාවත්, සුළු අපනයන භෝග වගාවන් සියල්ලකමට අපි අනිවර්යයෙන්ම නොමිලෝ පොහොර දෙන්න අපි ඓතිහාසික තීන්දුවක් අරගෙන තිබෙනවා.
හැම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයකම තාක්ෂණ විද්‍යාලයක් ආරම්භ කරනවා. ඒත් සමග තොරතුරු තාක්ෂණ උද්‍යානයකුත් ආරම්භ කරනවා. ඊට අමතරව හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම අලුතෙන්ම කර්මාන්ත පුරවරයන් ආරම්භ කරනවා. එමගින් මේ රටේ යොවුන් පරපුරට ඓතිහාසික ශක්තියක් ලැබෙනවා තොරතුරු තාක්ෂණයෙන් ඉදිරියට යන්න. නව තාක්ෂණ විද්‍යාලයෙන් තොරතුරු තාක්ෂණය, ඩිජිටල් තාක්ෂණය, නැනෝ තාක්ෂණය, නව තාක්ෂණය, පරිගණක විද්‍යාව හා ඉංග්‍රිසි භාෂා සාක්ෂරතාවය මෙයින් ඉගෙන ගන්න අවස්ථාව උදා වෙනවා.
මගේ ප්‍රතිවාදින් අහනවා මේ කියන පොරොන්දු ඉටු කරන්න සල්ලි තියෙනවාද කියලා. මම කියනවා සල්ලි තියෙනවා කියලා. මම රටේ සම්පත් මගේ පවුලේ වැඩවලට ගන්නේ නැහැ. රටේ හැම තඹ ශතයක්ම අපි කැප කරන්නේ මේ රටේ පොදු ජනතාව දියුණු කරන්නයි. අපි බොරුවට නෙළුම් කුළුණු හදන්න යන්නේ නැහැ. අපි නෙළුම් පොකුණු හදන්න යන්නේ නැහැ. රටේ සල්ලි වලින් මගේ දිවංගත පියාණන්ට ස්මාරක හදන්න යන්නේ නැහැ. එම නිසා අපි රටේ හැම තඹ ශතයක්ම වැය කරන්නේ පොදු ජනතාවට වියදම් කිරීමටත් මේ රට ඓතිහාසික සංවර්ධන යුගයක් කරා ගෙන යන්නට පමණයි.
මම ඇමතිවරයෙක් හැටියට ඇමති පඩිය ගත්තේ නැහැ. මගේ පුද්ගලික භාවිතයට ඇමති වාහනය ගත්තේ නැහැ. ඇමති නිල නිවස ගත්තේ නැහැ. මේ රටේ ප්‍රථම වතාවට රටේ බදු ගෙවන්නන්ගේ සල්ලිවලින් මන්දිර ගන්නේ නැති දිමනා බාර ගන්නේ නැති බදු ගෙවන්නන්ට අඩුම බරක් වෙන ජනාධිපතිවරයා සජිත් ප්‍රේමදාසයි.
විශේෂයෙන්ම මේ වන විට සියළු දෙනාට මගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබාදීලා තියෙනවා. එහි මගේ සියළු කාර්යයන් සදහන් වෙනවා. නුපන් දරුවාගේ ඉදලා මව් පරපුරේ සිට යොවුන් පරපුර කාන්තා පරපුර වැඩිහිටි පරපුර ඇතුළු මුළු ජනතාවටම සහන තිබෙනවා. සියළු දෙනාම මෙදා හම්බන්තොට උඩින්ම දිනවන කොට 16 දා ජයග්‍රහණයත් සමග 17 සිට වැඩට බැස දිවා රෑ නොබලා මේ රට දියුණු කරලා ජනතාවට සහන ලබා දෙන්නට ඇප කැප වෙනවා.
සමහරු පුරවැසිභාවය ගැන කතා කරනවා. පුරවැසිභාවය ගැන කව්රු කතා කළත් මට කමක් නැහැ. ද්විත්ව පුරවැසිභාවය හෝ ත්‍රිත්ව පුරවැසිභාවය හෝ කොයිම පුරවැසිභාවයක් තිබුණත් මට අවශ්‍ය මේ පුරවැසියා සමගම තරග කරන්නයි. මට වෙන කව්රුත් අවශ්‍ය නැහැ. මොකද මම දන්නවා ලබන 16 වෙනිදාට මගේ ප්‍රතිවාදියාව ජන බලයෙන්, ජන ශක්තියෙන්, ජනසවියෙන් පරාජය කරනවා කියන එක මට හොදටම විශ්වාසයි.
රටේ ජනතාව තීන්දු කරයි පුරවැසිභාවය තිබෙනවාද නැතිද කියලා. පුරවැසිභාවය ගැන විවිධ නීතිඥවරු ඉදිරිපත් වෙලා ලෝකේ නැති ටොම් පච කියනවා. පුරවැසිභාවය තිබුණත් නැතත් මට නම් ප්‍රශ්නයක් නැහැ. සජිත් ප්‍රේමදාස බොහොම ආසයි මේ ප්‍රතිවාදියා ඉන්නවාට. මම කියන්නේ කව්රුත් මේකට විරෝධය පාන්න එපා. ලබන 16 දාට තර්ජනය, ගර්ජනය, මර්ධනය වෙනුවට සාධාරණත්වය නිදහස ප්රජාතන්ත්රවාදය ජයග්‍රහණය කරනා බවට විශ්වාසයි.
මේ රට ලැහැස්ති නැහැ නැවතත් වරක් සුදු වෑන් සංස්කෘතියක් ක්‍රියාත්මක කරන්න. මේරට ලැහැස්ති නැහැ පුද්ගලික කෝන්තර මත පළිගැනීමේ යුගයකට යන්න. ලබන 16 දායින් පසු මේ රටේ පළි ගැනීමේ සංස්කෘතියට මා අනිවාර්යයෙන්ම තිත තබනවා.
ජනතාවට පේනවා අද රැල්ල තිබෙන්නේ අපට. හයිය තිබෙන්නේ අපට. අද ජවය තිබෙන්නේ අපට. අපේ ප්‍රතිවාදීන් මලානිකයි. ලැජ්ජයි කියන්න. ඔවුන්ගේ රැස්විමක් පවත්වනකොට කැකිරාවෙනුත් එනවා තිස්සමහාරාමේ රැස්වීමට. මොන විලිලැජ්ජා නැති වැඩක් ද ඇඹිලිපිටියෙනුත් එනවා රත්නපුරෙනුත් එනවා. මොණරාගලෙනුත් එනවා. නමුත් මම මේ ආමන්ත්‍රණය කරන්නේ ඔරිජිනල්ම හම්බන්තොට ජනතාවට බව කියන්න ඕනේ.
අපි ලග බොරු වැඩ නැහැ. අපි කවදාවත් අපේ රැස්විම්වලට පිට දිස්ත්‍රික්කවලින් ජනතාව ගෙනල්ලා බොරු රැල්ලක් පෙන්නලා නැහැ. වෙන කොහෙන්වත් අවශ්‍ය නැහැ හම්බන්තොට රැල්ල අද මුළු රටටම පෙනුනා.
ඉතින් හරිනේ මේ ගොල්ලෝ දන්නේ නැහැ ඔරිජිනල් වැඩ කරන්න. පුරවැසිකමත් ඔරිජිනල් නොවෙයි. සෙනග ගේනකොටත් ඔරිජිනල් නොවෙයි. ඔරිජිනල් වැඩ තේරෙන්නේ නැහැ. බාල වැඩ තමයි තේරෙන්නේ. සහතිකවගයක් පෙන්නුවා ඒකේ ගහපු අකුරුත් වැරදියි. ගහපු දිනයත් වැරදියි. ඇමරිකන්කාරයෝ දිනය ලියන පිළිවෙලක් තියෙනවා ඒකත් මේ ඔලමොට්ටලයෝ දන්නේ නැහැ. බොරු වැඩේ කරන්නවත් මේ අය දන්නේ නැහැ. මොන ලැජ්ජාවක්ද මේ... බොරු සහතික පෙන්නන්න ගිහිල්ලා හැම දේම ටොම් පචයක් වෙලා.
කව්රු මොන බොරුව කළත් සත්‍ය ජයග්‍රහණය කරනවා. සත්‍ය පරාජය වෙන්නේ නැහැ. අද මුළු රටේම හැම තැනකින්ම උතුරු, දකුණු, නැගෙනහිර කියලා වෙනසක් නැහැ දිස්ත්‍රික්ක 25 ම දිනන රැළ්ල අපි නිර්මාණය කරලා අවසන්.
මෑත කාලයේ ප්‍රථම වතාවට ජනතාවට අවස්ථාව උදාවෙලා තියෙනවා පනස් දෙහැවරිදි ජනාධිපති කෙනෙක් පත් කරගෙන ජව සම්පන්න ජනාධිපතිවරයෙක් බිහි කරගෙන රටේ හොඳ ජව සම්පන්න සංවර්ධනයක් ඇති කරගන්න. මට බලාපොරොත්තුවක් නැහැ හැමදාම මේ තනතුරුවල ඉන්න. මම මේ තනතුරුවල සිටිමින් ජනතා සේවය කරන්නේ මගේ ඇගට මේ හයිය තිබෙනකම් පමණයි. මේ ඉදිරිපත්ව සිටින කිසිවෙකුට සජිත් ප්‍රේමදාසගේ ගැම්මත් හයියත් ශක්තියත් නැහැ.
2000 හා 2001 මහ මැතිවරණය මතකද? පරාජය කළ නොහැකි බලවතුන් කියපු අය පරාජය කරලා ජනතා හයිය අපට ලබා දුන්නා. ඒ ගැම්ම මෙවරත් ගමු. මම කොළඹ ඉදලා ආවහම එදා හම්බන්තොට ප්‍රතිවාදින් කිව්වේ පැරෂුට් කාරයා කියලායි. එතකොට ඇමරිකාවේ ඉදලා ආපු මනුස්සයට මොකද කියන්නේ. පුරවැසිභාවයත් නැති එයාට මොකද කියන්නේ. අවසානයේ මේ දිස්ත්‍රික්කයේ තමුන්නාන්සේලාගේ දුක සැප බෙදා ගන්න ඉන්නේ මම විතරයි. අර බඩුව අනිවාර්යයෙන්ම රට හැර යනවා. වලංගු දිනය කල් ඉකුත්වූ දිනය පැන්න කට්ටිය අපට වැඩක් නැහැ. ජව සම්පන්න ශක්ති සම්පන්න නව නායකත්වයකට රට බාර දෙන්න. අපි අනිවාර්යයෙන්ම පරාර්ථකාමිව කරන්න තියෙන උපරිමය කරලා මේ රටේ ජනතාව ගොඩගන්නවාමයි.
ජාතික ආරක්ෂාව මේ රටේ ජනතාවට නීතිය හා සාමය සියල්ලක්ම ලබා දෙන්න අපි පත් කරන්නේ සැබෑ යුද වීරයා වන සරත් ෆොන්සේකා මැතිතුමායි. පහුගිය දවසක විදෙස් මාධ්‍යවේදිනයක් අපේ ප්‍රතිවාදි අපේක්ෂකයාගෙන් අහනවා රණබිමේ වූ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන්. එවිට මහා දේශප්‍රේමියා කිව්වේ මම නොවෙයි හමුදාව භාරව හිටියේ කියලා. අයියා නේද කියලා මාධ්‍යවේදිනිය ඇහුවාම කියනවා නැහැ නැහැ අයියාත් නොවෙයි කියලා. ඊට පස්සේ මෙයා කියනවා රණබිමේ වූ සෑම දෙයකම වගකිම බාර ගන්නේ හමුදාපති කියලා.
එදා යුද්දේ දිනුවාට පස්සේ මෙයාලා කිව්වේ යුද්දේ දිනුවේ මහරජාණෝ හා ඔහුගේ පවුල කියලා. රණවිරුවන්ට තර්ජනයක් එනකොට මෙයාලා ඇග බේරගෙන ඔක්කොම කළේ හමුදාපති කියලා කිව්වා. දැන් සත්‍ය හෙළි වෙලා තියෙනවා. අද සැබෑ යුද විරුවාට අවස්ථාව ලැබිලා තිබෙනවා මේ රටේ ආරක්ෂාව බාර ගන්න.
අපේ නව ආණ්ඩුව තුළ අපි පිරිසිදු පාලනයක් කරගෙන යන්නේ. කුසලතාවය තියෙන දක්ෂතාවය තියෙන. හැකියාව තියෙන අලුත් කණ්ඩායමටක අපි වගකිම බාර දෙනවා. හොරකම් කරපු දූෂණ මංකොල්ල කෑම් කළ කිසිවෙකුට මගේ අලුත් ආණ්ඩුවේ කිසිම තැනක් නැහැ. නමුත් මගේ ප්‍රතිවාදියා පිටුපස ඉන්නේ කව්ද කියලා බලන්න. මුණු ටික බලන්න. පවුලේ පිරිසක් තමයි ඉන්නේ. අගමැතිත් සහෝදරයා, මුදල් ඇමතිත් සහෝදරයා. තරුණ කටයුතු ඇමති පුතා.. කාන්තා ඇමති නෝනා... හැම දේම බෙදෙන්නේ පවුලට. මගේ පවුලට ගෑවුණු කිසිම කෙනෙක් මේ රාජ්‍ය පාලනයට අපි බදවා ගන්නේ නැහැ. අපි රටේ ජනාධිපතිකම ගන්නේ පවුල වඩන්න හෝ පවුල ශක්තිමත් කරන්න නොවෙයි. අපි මේ දුෂ්කර දේශපාලන ගමන යන්නේ මේ රටේ පොදුජනතාව ශක්තිමත් කරන්නයි.
ගමින් ගමට ගොස් අනෙක් පාක්ෂිකයන්ට කියන්න දිනන බස් එකට නගින්න කියලා. රතන හාමුදුරුවොත් අද ඉවත් වෙලා කියලා ආරංචියක් තියෙනවා. කව්රු එකතු වුනත් කව්රු ඉවත් වුනත් අපේ දිනන ගමන නවත්වන්න බැහැ. මගේ ආණ්ඩුවේ හොරු අල්ලන කාර්ය භාරය දෙන්නේ රන්ජන් රාමනායක මැතිතුමාටයි.”