ඔක්සිජන් නොමැතිකම හේතුවෙන් කොවිඩ්-19 රෝගීන් මිය යාම සාපරාධී ක්‍රියාවක් වන අතර, එය ජන සංහාරයකට නොඅඩු අවස්ථාවක් බව ඉන්දීය අලහබාද් මහාධිකරණය කියයි.
ඉන්දියාවේ වඩාත්ම ජනාකීර්ණ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය සම්බන්ධයෙන් අධිකරණ බලය ඇති අලහබාද් මහාධිකරණය, "රෝහල්වලට ඔක්සිජන් සපයා දීමට නොහැකි විමෙන් කොවිඩ්-19 රෝගීන් මිය යාම සාපරාධී ක්‍රියාවක්. ද්‍රව වෛද්‍ය ඔක්සිජන් අඛණ්ඩව ප්‍රසම්පාදනය හා සැපයුම් දාමය සහතික නොකර, ඒ කාර්යය භාරව සිටි බලධාරීන් සිදුකර ඇත්තේ ජන සංහාරයකට නොඅඩු ක්‍රියාවක්." යැයි කියා සිටියේය.
උසාවියේ අධිකරණ දෙකක විනිසුරු මඬුල්ලක් මේ බව ප්‍රකාශ කළේ උත්තර් ප්‍රදේශ්හි කොවිඩ්-19 අර්බුදය සම්බන්ධ නඩු විභාගයකදීය. එය ඉන්දියාවේ මාරාන්තික දෙවැනි වසංගතයේ දරුණුතම පීඩාවට පත් ප්රාන්තයන් අතර වේ.
උත්තර් ප්‍රදේශ් රජය මෙම අර්බුදය හසුරුවන ආකාරය පිළිබඳව දැඩි විවේචනයක් ඉදිරිපත් කරමින්, ප්‍රාන්තයේ ඉහළ උසාවිය ඔක්සිජන් සිලින්ඩර ගබඩා කිරීම සහ ඔක්සිජන් සිලින්ඩරයක් ඉල්ලා යදින දුප්පතුන්ට බලධාරීන් හිරිහැර කරන වීඩියෝ දර්ශනද මෙහිදී විභාග කළේය.
"ප්‍රමාණවත් තරම් ඔක්සිජන් සැපයුමක් ඇති බවට ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශ කළ දේ හා සැසඳීමේදී, මෙම ප්රවෘත්ති තරමක් ප්‍රතිවිරුද්ධ චිත්‍රයක් පෙන්වන බව අපට පෙනී යනවා" යනුවෙන් අධිකරණය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මීරට් සහ ලක්නව් නගරවල ඔක්සිජන් නොමැතිකම හේතුවෙන් මිය යන බව කියැවෙන කොවිඩ්-19 රෝගීන්ගේ නිශ්චිත සිදුවීම් දෙකක්ද විභාගයට ගත් අධිකරණය, මේ කාරණය සම්බන්ධයෙන් ක්ෂණික පිළියම් ගන්නා ලෙස ප්‍රාන්ත රජයට බල කළ අතර, එම අවස්ථා දෙක සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමටද නියෝග කළේය.
එමෙන්ම මෑතකදී පැවති පළාත් පාලන මැතිවරණයකදී ඡන්ද ගණන් කිරීමේදී කොවිඩ්-19 සීමාවන් සහ මාර්ගෝපදේශ උල්ලංඝනය විය හැකි බවද අධිකරණය විසින් අනතුරු ඇඟවීමක් කලින් සිදුකළ අතර, ඒ අනුව මැතිවරණයට අදාළ සී.සී.ටී.වී දර්ශන ලබා දෙන ලෙසද ප්‍රාන්තයේ මැතිවරණ බලධාරීන්ට නියෝග කළේය.
කෙසේ වෙතත් මෙම අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත රජය තවමත් විධිමත් ප්‍රතිචාරයක් දක්වා නොමැත.