පෞද්ගලික බස් හිමියන්ගේ උවමනාවට ලංගම හා පෞද්ගලික බස් රථ ඒකාබද්ධ කාලසටහන් ක්‍රමය යටතේ ධාවනය කිරීමට ප්‍රවාහන අමාත්‍යවරයා ගෙන තිබෙන තීරණය නිසා ලංගමය දැඩි අර්බුදයකට ලක්වන බව සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය සඳහන් කරයි.
ඒකාබද්ධ කාලසටහන් යටතේ ධාවන කාලසටහන්වලින් 50%ක් ලංගමය සතු බවත්, 50%ක් පෞද්ගලික බස් රථවලට හිමි බවත් එම සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ මහතා පවසා සිටියේය.
පෞද්ගලික බස් රථවලට හිමිවන 50%ක ධාවන බස් රථ විසිපන්දහසක් තිබෙන බවත්, මේ නිසා ඔවුන්ට හිමි ධාවන කාලසටහන්වල බස් රථ යෙදවීමට ප්‍රමාණවත් තරම් බස් රථ තිබෙන බවද හෙතෙම පවස සිටියේය.
එහෙත් ලංගමය සතුවන 50% ධාවන කාලසටහන් යටතේ ධාවනය කිරීමට තිබෙන්නේ බස් රථ හයදහසක් පමණක් බවත්, එම නිසා ඒකාබද්ධ කාලසටහන් යටතේ ධාවනය කිරීමට තවත් බස් රථ දහසයදහසක්වත් තිබිය යුතු බවත් ප්‍රධාන ලේකම්වරයා පැවසීය.
එසේ නොමැති වුවහොත් ධාවන කාලසටහන් යටතේ බස් රථ යෙදවීමේදී රාජ්‍ය ප්‍රවාහන සේවාව ලෙස ලංගමය දැඩි අර්බුදයකට ලක්වන බවත්, අවිධිමත් ආකාරයට ඒකාබද්ධ කාලසටහන් ක්‍රමය ක්‍රියාත්මක කර ලංගමය විනාශ කිරීමට පෞද්ගලික බස් හිමියන් 2007 වසරේ සිට සැලසුම් කරමින් සිටින බවත් ඒ මහතා සඳහන් කර සිටියේය.
ලංගම වෘත්තීය සමිති මැදිහත්වීම නිසා පෞද්ගලික බස් හිමියන්ට එම කටයුත්ත සිදුකර ගැනීමට නොහැකි වූ බවත්, මේ නිසා ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා හරහා එම කටයුත්ත සිදුකිරීමට උත්සාහ කරමින් සිටින බවත් සේපාල ලියනගේ මහතා පැවසීය.
මේ නිසා ලංගමයට අවශ්‍ය පහසුකම් ලබානොදී ඒකාබද්ධ කාලසටහන් ක්‍රමය ක්‍රියාත්මක කළහොත් ඊට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවද හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.