චීන කඳු නගින්නෙකු වූ 46 හැවිරිදි ෂැං හොං, නේපාලයේ පිහිටි ලොව උසම කඳු මුදුන වන එවරස්ට් කන්ද දෑස් නොපෙනී තරණය කළ ආසියාවේ පළමු මිනිසා මෙන්ම, එවැනි වික්‍රමයක් කළ ලොව තෙවැනි පුද්ගලයා බවට පත්ව තිබේ.
"ඔබ ආබාධිත හෝ සාමාන්‍ය වුවත්, ඔබට ඇස් පෙනීම නැති වී හෝ කකුල් හෝ අත් හෝ නොමැති වුවත් එය වැදගත් වන්නේ නැහැ. ඔබට ශක්තිමත් මනසක් ඇතිතාක් කල් ඒවා වැදගත් වන්නේ නැහැ. ඔබ එසේ ශක්තිමත් නම්, අනෙක් අය ඔබට බැහැයි කියා පවසන දෙයක් ඔබට සැමවිටම සම්පූර්ණ කළ හැකියි." ෂැං රොයිටර් පුවත් සේවයට පැවසීය.
ෂැං පසුගිය සඳුදා (මැයි 24) මීටර් 8,849ක උසකින් යුතු හිමාල කඳු පන්තියේ උසම කඳු මුදුන වන එවරස්ට් තරණය කර තිබුණේ, තවත් මාර්ගෝපදේශකයන් තිදෙනෙකු සමගිනි. ඒ අනුව ඔවුන් පසුගිය බ්‍රහස්පතින්දා කඳවුරට පැමිණියේය.
නිරිතදිග චීන නගරයක් වන චොංකිං හි උපත ලැබූ ෂැං හොංට වයස අවුරුදු 21 දී ග්ලුකෝමා රෝගය හේතුවෙන් පෙනීම අහිමි වී ඇත.
2001 දී එවරස්ට් තරණය කළ දෑස් නොපෙනන ඇමෙරිකානු කඳු නගින්නෙකු වූ එරික් වයිහෙන්මයර්ගේ ආභාෂයෙන් මේ කෙරෙහි උනන්දු වී ඇති ෂැං හොංට, කඳු නැගීමේ මාර්ගෝපදේශක මිතුරෙකු වන ක්වාං ෂීගේ මඟපෙන්වීම යටතේ පුහුණුවීම් කිරීමට අවස්ථාව හිමිව තිබේ.
කොවිඩ්-19 වසංගතය හේතුවෙන් නේපාලය පසුගිය වසරේදී එවරස්ට් කඳු තරණය අත්හිටුවා තිබුණත්, මේ වනවිට එය නැවත විවෘත කර තිබේ.
"මම ඇතැම් අවස්ථාව බියෙන් සිටියා. මොකද මා ඇවිදින ස්ථානය මට පෙනෙන්නේ නැහැ. මගේ ගුරුත්වාකර්ෂණ කේන්ද්‍රය සොයා ගැනීමට නොහැකි වූ නිසා සමහර විට මා වැටෙනු ඇතැයි සිතුණා" ෂැං පැවසීය. "නමුත් මම දිගින් දිගටම සිතුවේ, මේ ගමන දුෂ්කර වුවත් මට ඒ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවන බවයි. මෙය කඳු නැගීමේ එක් අංගයක්. දුෂ්කරතා හා අන්තරායන් පවතිනවා. කඳු නැගීමේ තේරුමම මෙයයි."