ටෙස්ලා සහ ස්පේස්එක්ස් හි ප්‍රධාන විධායක නිලධාරි එලොන් මස්ක් පෙරේදා රාත්‍රියේ සමාජ මාධ්‍ය ඔස්සේ කියා සිටියේ තමා එක් දිනකදී කොවිඩ්-19 පරීක්ෂණ 4ක් සිදු කළ බවත්, ඉන් දෙකක් ධනාත්මක සහ දෙකක් සෘණාත්මක බවය.
කොවිඩ්-19 පරීක්ෂාව සම්බන්ධයෙන් මේ සිදුවීම තුළ සැකපළ කිරීමට මස්ක් කටයුතු කළද, සැබවින්ම ඔහුට කොවිඩ්-19 ආසාදනය වී ඇති යන්න වඩාත් මතභේදකාරී වී තිබුණේ මේ සති අන්තයේදී ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගගනගාමීන් දියත් කිරීමේ ස්පේස්එක්ස් මෙහෙයුමක් සිදුවන නිසාය.
මස්ක් පසුගිය දින කිහිපය තුළ තමාට සුළු රෝග ලක්ෂණ පවතින බවද සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පුවත් මැවූ අතර, ඒ අනුව ඔහු සැබවින්ම වෛරසයට නිරාවරණය වී හෝ ආසාදනය වී ඇත්නම් ඔහු ඉක්මණින්ම නිරෝධායනය විය යුතු බව නාසා ආයතනය පවසා තිබුණි.
ගගනගාමීන් සිව්දෙනෙකු අද දිනයේ ස්පේස්එක්ස් ඩ්‍රැගන් කැප්සියුලයක අභ්‍යවකාශයට යාමට සූදානම් වෙමින් සිටින පසුබිමකම එම ගගනගාමීන්ගේ සෞඛ්යාරක්ෂාවද වඩාත් කතාබහට ලක්වූ අතර, නාසා ප්‍රධානී ජිම් බ්‍රිඩන්ස්ටයින් මාස්ක්ගේ ට්වීට් ගැන විමසූ මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ නාසා ප්‍රතිපත්තියට අනුව, මස්ක් නිරෝධායනය විය යුතු බවත්, මස්ක් සමග සම්බන්ධ වූයේ කවුරුන්ද යන්න තීරණය කිරීමට ස්පේස්එක්ස් උත්සාහ කරන බවත්ය.
ඒ අනුව ඊයේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ නාසා සහ ස්පේස්එක්ස් නිලධාරීන් පැවසුවේ සම්බන්ධතා සොයාගැනීම බොහෝ දුරට සම්පුර්ණ වී ඇති බවත්, මෙම සති අන්තයේ (අද) මෙහෙයුමට අත්‍යවශ්‍ය කිසිවෙකු කොවිඩ්-19 නිරාවරණය වීමේ අවදානමක් නොමැති බවත්ය. මේ අතර, නාසා හි ගුවන් මෙහෙයුම් නියෝජ්‍ය කළමනාකරු නෝර්ම් නයිට් පවසන පරිදි ගගනගාමීන් නිසැකවම පාහේ අවදානමට ලක්ව නැත.
කාර්ය මණ්ඩලයට සමීපව සිටින ඕනෑම අයෙකු අභ්‍යවකාශ ඒජන්සිය නිරන්තරයෙන් පරීක්ෂා කර ඇත. වසංගතයට පෙර පවා නාසා ගගනගාමීන් අභ්‍යවකාශයට රෝගයක් නොයැවීම සහතික කිරීම සඳහා පූර්ව පියාසැරි නිරෝධායන නීතිරීති පිළිපදින අතර, අභ්‍යවකාශ යානයක රැඳෙන කාර්ය මණ්ඩල සාමාජිකයින් අතර වෛරස් හා බැක්ටීරියා වේගයෙන් ව්‍යාප්ත විය හැකි බැවින් මෙසේ ක්‍රියා කරයි. මේ තත්ත්වය තුළ කොවිඩ්-19 ට ප්‍රතිචාර වශයෙන් නාසා ආයතනය ද දැඩි ක්‍රියාමාර්ග ගෙන තිබේ.
එහිදී මෙම දියත් කිරීමට සති දෙකකට පෙර, ගගනගාමීන් දැඩි නිරෝධායනයක සිට ඇති අතර, එයින් අදහස් වන්නේ ඔවුන් මුළුමනින්ම හුදෙකලා වීමකි. දියත් කිරීමේ කණ්ඩායමට පිටින් සිටින කිසිවෙකුට, ඔවුන්ගේ පවුල්වලට පවා සමීපව සිටිය නොහැකි බවය.