බෙල්ජියමේදී කොවිඩ්-19 මර්දන එන්නත් විදගෙන නොතිබූ, පසුගිය මාර්තු මාසයේදී වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත් 90 හැවිරිදි කාන්තාවකට එකවර කොවිඩ්-19 ප්‍රභේද දෙකක්ම වැලඳී තිබූ බව අනාවරණය වෙයි.
මෙවැනි ආකාරයේ සිද්ධියක් වාර්තා වූ ප්‍රථම අවස්ථාව මෙය විය හැකි යැයි විශ්වාස කෙරෙන බව යුරෝපීය විද්‍යාත්මක සම්මේලනයක් සහ බෙල්ජියම් මාධ්‍ය පැවසීය.
සායනික ක්ෂුද්රජීව විද්‍යාව සහ බෝවන රෝග පිළිබඳ යුරෝපීය සම්මේලනය මේ වසරේ සාකච්ඡා කළ මෙම සිද්ධිය, කොවිඩ්-19 ප්‍රභේද දෙකක් එකවර ආසාදනය වීමක් බව පෙන්නුම් කරන බව කියා සිටියේය.
බ්‍රිතාන්‍යය සහ දකුණු අප්‍රිකාව තුළ ප්‍රථම වරට හඳුනාගත් ඇල්ෆා සහ බීටා යන වෛරස ප්‍රභේද දෙකම එකවර ආසාදනය වී කාන්තාව අසනීප වී තිබූ බවත්, ඇයගේ වෛද්‍යවරුන්ට අනුව මෙම වෛරස ප්‍රභේද රැගත් පුද්ගලයන් දෙදෙනෙකුගෙන් ඇයට මෙසේ වෛරසය සම්ප්‍රේෂණය වී ඇති බවත් සඳහන් වෙයි.
බ්‍රසල්ස් නුවර, ඇල්ස්ට් හි රෝහලක ප්‍රතිකාර ලැබූ මෙම කාන්තාවට එන්නත විද නොතිබූ බව සඳහන් වෙයි. යුරෝපා සංගමය දැන් ජනගහනයෙන් 70%ක් ආවරණය වන පරිදි එන්නත් ලබාදී ඇතත් යුරෝපීය සංගමයේ ඇතැම් රටවල මෙන්ම, බෙල්ජියම 2021 මුල් භාගයේදී එන්නත් ලබා දීමේ ගැටලුවකට මුහුණ දුන් අතර, එහි එන්නත් කිරීමේ වැඩසටහන සෙමින් ආරම්භ විය.