කොරෝනා වසංගතය සමබන්ධයෙන් උද්ගතව ඇති "එන්නත ජාතිකවාදයේ" අන්තරායන්ට එරෙහිව නැවත නැවතත් අනතුරු අඟවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් අවධාරණය කරයි.
එන්නත් සමානාත්මතාව පිළිබඳ න්‍යාය පත්‍ර ඩාවෝස් සමාප්ති සමුළුවේදී කතා කළ ගෙබ්‍රෙයිසස් කියා සිටියේ වසංගතය විසින් දැනටමත් ලෝකයේ අසමානතාව හෙළි කොට, දුගී රටවල් සූරා කෑමට ලක්කර ඇති බවයි.
ඒ ආකාරයෙන්ම වසංගතය මැඬපැවැත්වීමේ ක්‍රම මගින්ද ලෝකයේ ධනවත් හා දුප්පත් ජාතීන් අතර ඊටත් වඩා විශාල පරතරයක් ඇතිවිය හැකි බව ඔහු තවදුරටත් පැවසීය.
"එන්නත වැනි වසංගතය අවසන් කිරීමට උපකාරී වන මෙවලම් එම අසමානතාවයන් උග්‍ර කළ හැකි සැබෑ අන්තරාය දැන් පවතිනවා" ගෙබ්‍රෙයිසස් පැවසීය.
2009 දී H1N1 වසංගතය මැඩපැවැත්වීම සඳහා එන්නත් නිපදවමින්, ලෝකයට එම එන්නත්වලට පූර්ණ ප්‍රවේශය ලබාදුන් විට වසංගතය අවසන් වූ අයුරු සිහිපත් කළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා, වර්තමාන කොරෝනා වසංගතය හමුවේ දුප්පත් ජාතීන්ට බොහෝ විට එන්නත් ලබා ගැනීමට තවමත් නොහැකි වී ඇති බවත්, ධනවත් රටවල් දැනටමත් එන්නත් කිරීමේ ව්‍යාපාර දියත් කරමින් සිටිම තුළ මේ වසංගතය තවදුරටත් දිග්ගැස්සෙනු ඇති බවට අනතුරු අඟවයි.