කොවිඩ්-19 වෛරසය සඳහා එන්නතක් නිපදවන තුරු ලොව පුරා ජනතාවගේ ජීවන රටාවන් සැලකිය යුතු වෙනසකට මුහුණ දිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්යක්ෂ වෛද්‍ය මයික් රයන් පවසයි.
සිකුරාදා මාධ්‍ය හමුව අමතමින් රයන් පැවසුවේ, "අපට මඟක් පෙනෙන්ට තිබෙනවා. නමුත් අප නිතරම සුපරික්ෂාකාරීව සිටිය යුතුයි. ඵලදායී එන්නතක් හෝ ඵලදායී ප්‍රතිකාරයක් ලබාදිය හැකි ස්ථානයට පැමිණෙන තුරු අපගේ ජීවන රටාවෙහි සැලකිය යුතු වෙනසක් කිරීමට අපට සිදුවනු ඇති" යනුවෙනි.
භෞතික දුරස්ථභාවයේ ප්‍රතිඵල සෙසු ලෝකයට මෙන්ම තම කණ්ඩායමටද (ලෝක සෞඛ්‍ය සංවිධානයේ) දැනෙන බව රයන් පැවසීය.
"සති 18ක් තුළ අප එකිනෙකා අතට අත දීමක් හෝ වැළඳගෙන සුබ පැතීමක් සිදුකර නෑ" ඔහු පැවසීය.
රටවල් නැවත විවෘත කිරීමේදී
"බොහෝ මිනිසුන්ට සමාජීය, මානසික හා ආර්ථික වශයෙන් දුෂ්කර ක්‍රියාවලියක් වන යම් දුක් විඳීමක් මේ මොහොතේ දැකිය හැකියි. එවැනි තත්ත්වයක් තුළ නැවත විවෘත කිරීම සඳහා බොහෝ රටවල් ඉතා පරිස්සමින් පියවරෙන් පියවර ප්‍රවේශයක් ගනිමින් සිටිනවා. නමුත් එය රඳා පවතින්නේ තම පුරවැසියන්ගේ ඉවසීම සහ නොපසුබට උත්සාහය මත පමණයි." රයන් පැවසීය.
"මම හිතන්නේ හැමෝම එහෙම කරන්නේ අපි ආදරය කරන අයව ආරක්ෂා කරන්න ඕනෑ නිසයි."
පාසල් අර්ධ වශයෙන් විවෘත කිරීම, සේවා ස්ථාන වෙත අර්ධ වශයෙන් සේවකයන් ගෙන්වීම සහ ඉහළ ජන ඝනත්වයක් පවතින ප්‍රදේශවල සේවය කරන අයට නිසි සෞඛ්යාරක්ෂක පියවර ගැනීම වැනි ක්‍රියාමාර්ගයන් රයන් පෙන්වා දෙයි.
නමුත් ප්‍රසංග සහ ක්‍රීඩා වැනි ඉසව් පිළිබඳ අදහස් දක්වමින් රයන් පැවසුවේ, "ඒවා පරිපූර්ණ ලෙස ආරක්ෂිත කිරීම වඩා දුෂ්කර වනු ඇති" යනුවෙනි.
"ජීවිතය කියන්නෙ ජීවිතය, ඒ නිසා මෙවැනි විවෘත කිරීමකදී වුවත් කිසිම අවදානමක් නැති බව අපට කියන්න බෑ." ඔහු වැඩිදුරටත් පැවසීය.