එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පත් වීමට සුදුසුම පුද්ගලයා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බවට තමා විශ්වාස කරන්නේ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අර්ජුන රණතුංග මහතා පැවසීය.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති පක්ෂ සංවත්සරයට සහභාගි වීමෙන් අනතුරුව ඊයේ (06දා) මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මේ වනවිට 20 වැනි සංශෝධනය ඉදිරිපත් කර ඇති බවත්, එහි ගැටලු සම්බන්ධයෙන් කතා කිරීමට සුදුසුම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතා බවත් රණතුංග මහතා ප්‍රකාශ කළේය.
"20 වැනි සංශෝධනය ඉදිරිපත් කළාම අපි එළියේ ඉඳන් කටයුතු කරනවා. මොකද අපි අද පාර්ලිමේන්තුවේ නෑනේ. මම පෞද්ගලිකව හිතනවා පාර්ලිමේන්තුවට යන්න සුදුසුම කෙනා රනිල් වික්‍රමසිංහ මහත්මයා කියලා. එතුමා නම් කැමැත්තක් නෑ මේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් වෙන්න.
මේ ආණ්ඩුව ගේන සංශෝධන සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන් අපේ කණ්ඩායමේ ඉන්න දක්ෂතම පුද්ගලයා එතුමා. රනිල් වික්‍රමසිංහ මහත්මයා දිගින් දිගටම යන්න බෑ කිව්වා. අපිත් යන්න එපා කිව්වා. නමුත් අපට දැන් තේරිලා තියෙනවා මේ වගේ විනාශකාරී සංශෝධනයක් ගේනවා නම්, ඒකට කතා කරන්න සුදුසු පුද්ගලයෙන් යවන්න ඕන කියලා.
එතුමා තමයි පාර්ලිමේන්තුවේ 225න් ඒ සම්බන්ධයෙන් කතා කරන්න දක්ෂම පුද්ගලයා. මේ සංශෝධනයේ හොඳ පැත්ත වගේම නරක පැත්ත රටට මෙන්ම ආණ්ඩුවට දැනුවත් කරන්න මම හිතනවා ඔහු ගියොත් හොඳයි කියලා" යනුවෙන් පවසා සිටියේය.