වටිනා ඡන්දය අපතේ නොහැර රටජාතිය ගොඩනැගීම වෙනුවෙන් භාවිතා කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
පක්ෂ භේදය අමතක කර මේ අවස්ථාවේ රට ජාතිය ගොඩනැගීමට ඔබේ ඡන්දය අපතේ නොහැර භාවිතා කරන්නැයි ඊයේ (21දා) පස්වරුවේ මහනුවර, පූජාපිටිය ප්‍රදේශයේ පැවැති හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා එක්සත් ජාතික පාක්ෂිකයින් ඇතුළු සියලු ජනතාවගෙන් අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටියේය.
ජනතාවගේ ප්රමුඛ ගැටළුවක්ව ඇති නිවාස ප්රශ්නය සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා සඳහන් කලේ ඉදිරියේ බලයට පත්වන පොදුජන පෙරමුණු රජයක් මඟින් ජනතාවගේ නිවාස ප්රශ්නය විසදීමට දැනටමත් සැලසුම් සකස් කර ඇති බවයි.
ඉකුත් රජය සමයේ ඇති කළ නිවාස යෝජනා ක්‍රමවල අසාර්ථකභාවය සම්බන්ධයෙන් මෙහිදී සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා අලුත් නිවාස යෝජනා ක්‍රම සැකසීමේදි ජිවත්වීමට සුදුසු පරිසරයක් සහිතව නිවාස යෝජනා ක්‍රම සැකසිය යුතු බව පෙන්වා දුන්නේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධූරයට පත්වූ වහාම සෑම ග්‍රාම නිලධාරී වසමකටම එක් නිවසක් බැගින් නිවාස 14500ට වඩා වැඩි නිවාස ප්‍රමාණයක් මේ වන විටත් ජනතා අයිතියට පත්කිරීමට පියවර ගෙන තිබේ.
නමුත් ඉකුත් රජය සමයේ මෙන් පෝස්ටර් මගින් ඒ සම්බන්ධයෙන් අනවශ්‍ය වියදමක් දරමින් ප්රචාරක වැඩපිළිවෙළක් දියත් කොට නොමැත.
මෙහිදී අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගන් තොන්ඩමන් මහතා සම්බන්ධයෙන් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ වතු ජනතාවට ජිවත්වීමට සුදුසු නිවාස ලබාදීම ඒ මහතාගේ ප්‍රධාන බලාපොරොත්තුවක් වූ බවයි.
තොන්ඩමන් ඇමතිවරයා මේ වන විට ජීවතුන් අතර නොසිටියත් වතු ජනතාවගේ නිවාස ප්රශ්නය විසදීමට අවශ්‍ය පියවර ඉදිරි රජයක් මඟින් ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය