එක්සත් ජාතික පෙරමුණ ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ මහා සම්මේලනයට පෙර නම් කරන බව එම පක්ෂයේ සභාපති, මහා මාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා ඊයේ (15දා) පැවසීය.
ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ ස්ථාපිත කිරීම සඳහා එක්සත් ජාතික පෙරමුණට අයත් පක්ෂ අතරේ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම හා ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීම එකම දිනකදී සිදුකරන බවත්, ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සහ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එකඟතාව පළ කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
එක්සත් ජාතික පෙරමුණ සමග එක්ව සිටින පක්ෂ නායකයන් හා එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් හෙට (17දා) පැවැත්වෙන එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක රැස්වීමේදී අවබෝධතා ගිවිසුම අත්සන් කරන දිනය තීරණය කරන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
එසේම ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණේ ව්‍යවස්ථාවට අදාළව එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ සංශෝධන 5න් 4ක් පක්ෂ නායකයන් පිළිගෙන තිබෙන බවත්, හෙට දිනයේ පැවත්වෙන පක්ෂ නායක රැස්වීමේදී ඉතිරි සංශෝධනය සඳහා එකඟතාවකට එළඹෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂය ජනතාවගේ ඉල්ලීම්වලට ඇහුම්කන් දීමට සූදානම් බවත්, ඒ අනුව ජනතාව ඉල්ලා සිටින තරුණ පරපුර සමග අලුතෙන් සිතීමට හැකියාව තිබෙන නායකයෙකු ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බවත් හෙතෙම පැවසීය.
"අනිත් පැත්තෙ පක්ෂයේ සම්මේලනයේදී කියනවා ජනතාව ඉල්ලන කෙනා දෙනවා කියලා. ඒ අය ගෙදර තීරණය කරලා අහවලා අපේක්ෂකයා කියලා සම්මේලනයේදී ජනතාවගේ අතට බලෙන් පින්තූර දීලා ඒක උස්සන්න කියලා, ත්‍රීවිල් පාක්වල ගිහින් රතිඤ්ඤා දීලා බලෙන් අපේක්ෂයෙක් දාලා තිබෙනවා.
නමුත් අපි හරි ක්‍රමයට කරන්නේ. අපට අපේක්ෂකයා නම් කරන්න කිසිම කලබලයක් නැහැ. තවම ඡන්ද දිනයවත් ප්‍රකාශ කරලා නැහැ. අපි දන්නේ නෑ ඡන්දය කවද්ද තියෙන්නේ කියලා. ඒ නිසා පොදුජනයා විසින්ම සම්මත කරන ක්‍රමවේදයක් තුළ ප්‍රජාතන්ත්‍රවාදීව අපේ අපේක්ෂකයා නම් කරනවා.
පොහොට්ටුවේ සම්මේලනයේදී මහින්ද රාජපක්ෂ මහතා කිව්වා ජනතාවට ඇහුම්කන් දීලා ප්‍රජාතන්ත්‍රවාදීව වැඩ කරනවා කියලා. නමුත් එතුමා නීති දෙක තුනක් කඩලා ඒ කතාව කළේ. එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙක් විදියට ඉන්නේ. නමුත් එදා පොහොට්ටුවේ නායකයා හැටියට ඔහු වැඩ බාරගත්තා.
ඒ අනුව ඔහු පාර්ලිමේන්තුවෙන් අස්වෙන්න ඕන. එතුමා ව්‍යවස්ථාව කඩකර තිබෙනවා. එයා නම් කරපු අපේක්ෂකයා ද්විත්ව පුරවැසිභාවයක් තියෙන කෙනෙක්. අපි නම් ප්‍රාර්ථනා කරනවා එයාම අපේක්ෂකයා හැටියට ඉන්න ඕන කියලා. රටේ නීතියක්, ව්‍යවස්ථාවක් තියෙනවා. ඒවාට ගරු කරන්න ඕන" යනුවෙන් පවසා සිටියේය.