එක්සත් රාජධානිය වැඩිම කලක් පාලනය කළ හා මේ වනවිටත් පාලනය කරනු ලබන කොන්සර්වේටිව් පක්ෂය එළඹෙන 13 වැනිදා පැවැත්වීමට නියමිත එංගලන්ත මහා මැතිවරණය වෙනුවෙන් එළිදැක්වූ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ශ්‍රී ලංකාව තුළ දමිළ ඊළම බිහිකිරීම පිළිබඳ ප්‍රකාශයක් අන්තර්ගත බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.
එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ 53 වැනි පිටුවෙහි ලංකාවේ පවතින අර්බුදයට විසඳුම ලෙස ලංකාව තුළ රාජ්‍ය දෙකක් බිහි කළ යුතු යැයි සඳහන් වන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
විදේශ කටයුතු අමාත්‍යවරයාව මේ පිළිබඳ දැනුවත් කරමින් ලිපියක් යොමු කිරීමට තමන් බලාපොරොත්තු වන බවත්, මෙවැනි තත්ත්වයකදී උදාසීනව කටයුතු කළ මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා ලෙස විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවත් ගම්මන්පිල මහතා පවසා සිටියේය.
පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුම පක්ෂ මූලස්ථානයේ අද (03දා) මාධ්‍ය හමුවක් කැඳවමින් හෙතෙම මේ බව පවසා සිටියේය.
“ එංගලන්තයේ පාර්ලිමේන්තු මැතිවරණය 2019 දෙසැම්බර් 13 දින පැවැත්වෙනවා. ඒ මැතිවරණය වෙනුවෙන් කොන්සර්වේටිව් පක්ෂය සිය ප්‍රතිපත්ති ප්රකාශනය නොවැම්බර් 25 දින එළිදැක්වූවා. ඒ ප්රකාශනය තමයි මේ තිබෙන්නේ. ඒකේ 53 පිටුවේ ලංකාවේ පවතින අර්බුදයට විසඳුම ලෙස ලංකාව තුළ රාජ්‍ය දෙකක් බිහිකළ යුතු බව කියනවා. මම දැන් ඒ ප්‍රකාශය සිංහලට පරිවර්තනය කළා.
'ලෝකය පුරා සංහිඳියාව, ස්ථාවරත්වය සහ යුක්තිය ළඟා කර ගැනීමට ගෙන ඇති ජාත්‍යන්තර ආරම්භකයන්ට අපේ සහාය ලබාදීම අඛණ්ඩව සිදුකරන අතර සයිප්‍රසය, ශ්‍රී ලංකාව සහ මැදපෙරදිග වැනි වත්මන් හෝ පෙර අර්බුද කලාපයන් වෙනුවෙන් රාජ්‍ය දෙකක විසඳුම සඳහා අපගේ සහයෝගය පවත්වා ගනු ලැබේ.'
එක්සත් රාජධානිය වැඩිම කාලයක් පාලනය කළ දැනටත් පාලනය කරන මීළඟ මැතිවරණයෙන් ජයග්‍රහණය කරන්න ඉඩ තිබෙන කොන්සර්වැටිව් පක්ෂය ජනවරමක් පතන්නේ මොකටද? ලංකාව තුළ වෙනම රාජ්‍යයක් බිහි කරන්න. වඩාත් පැහැදිලිව කිව්වොත් දෙමළ ඊළම හදන්නයි.” යනුවෙන්ද පවසා සිටියේය.