බගවන්තලාව සහ නොර්වුඩ් පොලිස් වසම්වලට අයත් තේ වතුයායවල් හතරක හින්දු කොවිල් කඩා එම කෝවිල් වල තිබු දේව රූපයන් වලට පළඳවා තිබු රන් තැලි සහ පඩුරු පෙට්ටිය කඩා මුදල් සොරාගෙන යාම සම්බන්ධයෙන් බගවන්තලාව සහ නොර්වුඩ් පොලීසිය වෙන් වෙන්ව පරික්ෂණ ආරම්භ කර ඇත.
ඊයේ (18) දින රාත්රි එම කෝවිල් හතරම කඩා ඇති බව එම කෝවිල් භාරකාර මණ්ඩලය පොලීසිය වෙත පැමිණිලි කර ඇත.
බගවන්තලාව පොලිස් වසමට අයත් රොක්ගිල් බොනකොට් කොටසේ ශ්රි මුත්තුඅම්මාරියන් කෝවිල කඩා දේව රුපයට පළඳවා තිබු කුඩා රන් තැල්ලක් සහ පඩුරු පෙට්ටය කඩා මුදල් රැගෙන ඇති අතර, නොර්වුඩ් පොලිස් වසමට අයත් සාංචිමලේ වතුයායේ කෝවිලද , පොයිස්ටන් වතුයායේ කෝවිල් දෙකක්ද කඩා එම කෝවිල් වල දේවරූපයන් වලට පළඳවා තිබු රන් තැලි සහ පඩුරු පෙට්ටි කඩා මුදල් රැගෙන ගොස් ඇති බවයි පොලීසියට ලද පැමිණිලි වල සඳහන් කර ඇත්තේ.
එකම කණ්ඩායමක් විසින් මෙම කෝවිල් කඩන්නට ඇති බව සිද්ධිය පිළිබඳව පරික්ෂණ පවත්වන බගවන්තලාව සහ නොර්වුඩ් පොලීසිය සැකකරයි.
කෝවිල්වල සිදු වි ඇති සොරකම් සම්බන්ධයෙන් මෙතෙක් තක්සේරුවක් කර නොමැත.
කඩා ඇති සැම කෝවිලකටම කිසිදු ආරක්ෂිත වැඩපිළිවෙලක් දියත් කර නොමැති බව සොරකම සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන බගවන්තලාව සහ නෝර්වුඩ් පොලීසිය පැවසිය.