වයඹදිග චීනයේ ෂින්ජියැන් පළාතේ උයිගුර් ස්වයං පාලන කලාපයේ උයිගුර් මුස්ලිම්වරුන් මර්දනය කිරීම මගින් චීනය විසින් ජනසංහාර සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුකර ඇති බවට එක්සත් ජනපදය තීරණය කළ බව එක්සත් ජනපදයේ හිටපු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ සිය ධුරයේ අවසන් කතාවෙන් කළ චෝදනාව, ෂින්ජියැන් බලධාරීන් දැඩිව ප්‍රතික්ෂේප කරයි.
ෂින්ජියැන් කලාපයේ අගනුවර වන උරුම්කි හි පැවති මාධ්‍ය හමුවකදී හිටපු රාජ්‍ය ලේකම්වරයාගේ ප්‍රකාශය තරයේ හෙළා දැකීම සිදුවූ අතර, චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්රචාරක දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධානී ෂු ගුක්සියාං කියා සිටියේ, පොම්පෙඕගේ නිර්ණය කිරීම බොරු වැලක් බවයි.
මෙම ඊනියා නිර්ණය කිරීම් සඳහා කිසිදු පදනමක් නොමැති බවත්, එය චීනයේ අභ්‍යන්තර කටයුතුවලට දැඩි ලෙස මැදිහත් වීමක් වන අතර, ජාත්‍යන්තර නීතිය සහ ජාත්‍යන්තර සබඳතා පාලනය කරන සම්මතයන් පාගා දැමීමක් බවත් ෂූ ගුක්සියාං පවසා සිටියේ, ෂින්ජියැන් සහ එහි සියලු ජනවාර්ගික කණ්ඩායම් එම ඊනියා චෝදනා දැඩි ලෙස හෙළා දකින අතරම, එයට විරුද්ධ බවද ප්‍රකාශ කරමිනි.
සංඛ්‍යාලේඛනවලට අනුව, උයිගුර් සුළුතරය ඇතුළු ජනවාර්ගික සුළුතරයන්ගේ ජනගහනය 2010 සිට 2018 දක්වා අඛණ්ඩව වර්ධනය වී තිබේ. උයිගුර් ජනගහනය කලාපයේ මිලියන 2කට වඩා වැඩි වී මිලියන 12.7ක් දක්වා වර්ධනය වී තිබේ. ෂින්ජියැන් හි සමස්ත ජනගහනය මිලියන 21.81 සිට මිලියන 24.86 දක්වා වර්ධනය වූ අතර එහි වර්ධන වේගය 14%කට ආසන්නය.
"උයිගුර් ජනගහනය සින්ජියැන් හි සාමාන්‍ය ජනගහනයට වඩා වේගයෙන් වර්ධනය වන අතර අනෙකුත් ජනවාර්ගික සුළුතරයන්ගේ ජනගහනයට වඩා වේගයෙන් වර්ධනය වෙනවා. එය හැන් චීන ජනගහනයට වඩා සැලකිය යුතු වේගයකින් වර්ධනය වීමක්" යැයි තොරතුරු කාර්යාලයේ ප්‍රකාශක එලිජන් අනයිට් පැවසීය.
පොම්පෙඕ චෝදනා කරන ඊනියා ජන සංහාරයකින් පසු ජනගහනය ඉහළ යන ස්ථානයක් ලොව පුරා කොහේවත් තිබේදැයි ෂින්ජියැන් හි පළාත් රජය ප්‍රශ්න කරයි. කෙසේ වෙතත් මෙය එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රිකයන් හෝ දේශපාලඥයන් විසින් ඊනියා චෝදනා ඉදිරිපත් කළ පළමු අවස්ථාව නොවන බවද චීන මාධ්‍ය පෙන්වා දෙයි.
කෙසේ වෙතත් මේ වනවිට එක්සත් ජනපද හිටපු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන් 28 දෙනෙකුට හා ඔවුන්ගේ සමීපතමයන්ට චීනයට ඇතුළු වීම තහනම් කරමින් චීන රජය විසින් සම්බාධක පනවා ඇති අතර, මෙය නිවේදනය කරමින් පසුගියදා චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා හුවා චුනිං විසින් පොම්පෙඕ හඳුන්වනු ලැබුවේ විනාශකාරී විහිළුවක් ලෙසිනි.