උමාඔය බහුකාර්ය ව්‍යාපෘතියට අදාළව අලුතින් කිසිදු භූගත පාෂාණ සිදුරු කිරීමක් සිදු නොවන බැවින් මේ වනවිට ජල කාන්දුවක් සිදු නොවන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා අද (05දා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
එමෙන්ම උමාඔය බහුකාර්ය යෝජනා ව්‍යාපෘතිය හේතුවෙන් පීඩාවට පත් ජනතාවගේ පානීය ජල ගැටලුව සම්පූර්ණයෙන්ම විසඳා අවසන් බවද පාරින්ද රණසිංහ මහතා වැඩිදුරටත් දැනුම් දුන්නේය.
නිසි පරිසර ඇගයීම් වාර්තා නොගෙන ආරම්භ කොට මේ වනවිට බණ්ඩාරවෙල හා ඒ අවට ප්‍රදේශවාසීන්ගේ ජනජීවිතය අඩපන කොට ඇති ‘උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය වහාම අත්හිටුවන ලෙස නියම කරන ලෙස ඉල්ලමින් පරිසර යුක්ති කේන්ද්‍රය සහ බණ්ඩාරවෙල ප්‍රදේශවාසීන් තිදෙනෙකු විසින් ඉදිරිපත් කර ඇති පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා මේ බව දැනුම් දුන්නේය.
පරිසර යුක්ති කේන්ද්‍රය සහ බණ්ඩාරවෙල ප්‍රදේශවාසීන් තිදෙනෙකු විසින් ඉදිරිපත් කර ඇති මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මධ්‍යම පරිසර අධිකාරිය, මහවැලි සංවර්ධන අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු පාර්ශ්ව කිහිපයක් නම් කර ඇත.
මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවරුන් වන ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රීතී පද්මන් සුරසේන හා යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවිණි.
ඒ අවස්ථාවේදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා කරුණු ඉදිරිපත් කරමින් වගා හානියට පත් ගොවීන් සඳහා වන්දි ගෙවීමේදී ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වී ඇතැයි දැනුම් දුන්නේය.
වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා කරුණු ඉදිරිපත් කරමින් ‘උමාඔය බහුකාර්ය ව්‍යාපෘතියට අදාළව අලුතින් කිසිදු භූගත පාෂාණ සිදුරු කිරීමක් සිදු නොවන බවත්, මෙම ව්‍යාපෘතිය හේතුවෙන් පීඩාවට පත් ජනතාවගේ පානීය ජල ගැටලුව සම්පූර්ණයෙන්ම විසඳා අවසන් බවත් සඳහන් කළේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලු ශ්‍රේෂ්ඨාධිකරණය වගා හානිවලට අදාළ වන්දි ගෙවීමට රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට නියම කළ අතර, මෙම පෙත්සම ජූලි මස 20 වැනිදා යළි කැඳවීමටද නියෝග කර සිටියේය.