එක්සත් ජනපද උප ජනාධිපති මයික් පෙන්ස්ගේ මාධ්‍ය ලේකම් කොවිඩ්-19 වෛරසයට ධනාත්මක බව පරීක්ෂා කර තිබුණද, උප ජනාධිපතිවරයා ස්වයං නිරෝධායනයකට සැලසුම් නොකරන බව දැනගන්නට තිබේ.
උප ජනාධිපතිගේ ප්‍රකාශක ඩෙවින් ඕමැලී පැවසුවේ පෙන්ස් ධවල මන්දිර වෛද්‍ය ඒකකයේ උපදෙස් දිගටම අනුගමනය කරන අතර, ස්වයං නිරෝධායනයට යොමු නොවන බවයි.
එමෙන්ම උප ජනාධිපතිවරයා සෑම දිනකම කොවිඩ්-19 පරීක්ෂාවට යොමුවන බවත්, එහිදී ඔහු දිගටම සෘණාත්මක ප්‍රතිඵලයක් පෙන්වා ඇති නිසා අද දිනයේද ජනාධිපතිවරයා ධවල මන්දිරයේ රැඳී සිටිනු ඇති බව ඔහු කීවේය.
කෙසේ වෙතත් මේ වනවිට ඇමෙරිකාවේ ආරක්ෂිතම නිවස්නය වන ධවල මන්දිරය වෙතද කොරෝනා වෛරසය පහරදීම අරඹා තිබේ. ඊයේ දිනය වනවිට ධවල මන්දිර කොරෝනා කාර්ය සාධක බලකායේ විශේෂඥයන් තිදෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුවිය.
එහිදී ධවල මන්දිරය සමග සබඳතා පවත්වන එක්සත් ජනපද සෞඛ්‍ය හා මහජන සේවා ලේකම් ඇලෙක්ස් අසාර් සහ එක්සත් ජනපද ශල්‍ය වෛද්‍ය ජෙනරාල් ජෙරොම් ඇඩම්ස් කොවිඩ් -19 පරීක්ෂාවට ලක්කර තිබූ අතර, ඔවුන්ගේ ප්‍රතිඵල සෘණාත්මක විය. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා ස්වයං නිරෝධායනයකට යොමු නොවන බව දැනුම් දී ඇත.
මේ අතර, නාවික මෙහෙයුම් ප්‍රධානී අද්මිරාල් මයිකල් ගිල්ඩේ විසින් වෛරසයට ධනාත්මක බව පරීක්ෂා කළ පවුලේ සාමාජිකයෙකු සමග සම්බන්ධ වූයෙන් ඔහු දින කිහිපයක් ස්වයං නිරෝධායනයට යොමුව තිබේ.