වී අලෙවි මණ්ඩලය හෝ මෝල් හිමියන් හැර වෙනත් ජාවාරම්කරුවන් ගොවීන්ගෙන් වී මිලදී ගෙන සහල් මිල ඉහළ නැංවීමේ අරමුණින් වී ගබඩා කර තබා ගතහොත් එවැනි වී තොග රාජ සන්තක කිරීමට අවශ්‍ය නීතිය සම්මත කරන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ වී මිල, සහල් මිල සහ ජීවන වියදම පාලනය සඳහා රජයේ ක්‍රියාමාර්ග පැහැදිලි කිරීම පිණිස රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ (04) සංවිධාන කර තිබූ ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
මෙම පියවර ගනු ලබන්නේ පාරිභෝගික ආරක්ෂණය, පාරිභෝගිකයන්ගේ යහපත සහ නිෂ්පාදන ක්රියාවලියෙහි නිරත ගොවීන්ගේ යහපත උදෙසා බව අමාත්‍යවරයා කීවේය.
රජය නියම කර ඇති උපරිම සිල්ලර මිලට වැඩියෙන් සහල් අලෙවිකරන්නන් හට පාරිභෝගික ආරක්ෂණ පනත යටතේ නියම කෙරෙන රුපියල් 2500 දඩ මුදල රුපියල් 100,000 දක්වා වැඩි කරන බවද ඔහු කියා සිටියේය.
ජාවාරම්කරුවන් හිතා මතා සහල් හිඟයක් ඇති කිරීමට කටයුතු කළහොත් ඊට විකල්පයක් ලෙස සහල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කර එවැනි අවස්ථාවකදී පාරිභෝගිකයන්ට පාලන මිලට සහල් ලබාදීම සඳහා ගබඩා කර තබන බවද අමාත්‍ය ගුණවර්ධන ප්‍රකාශ කළේය.
පාරිභෝගිකයින් සහ ගොවීන් ආරක්ෂා කිරීම සඳහා වී මිලදී ගැනීම පිණිස අවම මිලක් ද සහල් අළෙවිය සඳහා උපරිම සිල්ලර මිලක් ද රජය නියම කර ඇති බව සංවාදයට එක්වූ පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්රිත කර්මාන්තරාජ්ය අමාත්‍ය ඩී.බී.හේරත් මහතා පැවසීය. ඒ අනුව තෙත වී කිලෝවක් අවම වශයෙන් රුපියල් 42ටත්, වියළි වී කිලෝවක් (නාඩු සහ කැකුළු) රුපියල් 50කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 52කටත් මිලදී ගැනීමට ද රජය සූදානම් බව හේරත් මහතා කීය.