උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට නිසි නායකත්වයක් ලබා දීමට නොහැකි තරමට දෙමළ නායකත්වයන් යල් පැන ගොස් කල් ඉකුත් වි ඇති නිසා වහාම දෙමළ ජනතාවට නායකත්වය ලබාදීමට විකල්ප නායකත්වයක් සෙවිය යුතුව ඇතැයි ඊ.පී.ආර්.එල්.එෆ්.සංවිධානයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පවසයි.
වවුනියාවේදී ඊයේ (1) දින එම සංවිධානයේ නියෝජිතයින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් මේ බව පැවසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා ,
‘‘ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කිරීමේ ප්‍රධාන හේතුව දෙමළ ජාතික සන්ධානය සජිත් ප්‍රේමදාසට සහාය දක්වමින් ප්‍රසිද්ධ මැතිවරණ ප්‍රචාරයක නිරතවිම. උතුරේ සෙසු බලවේග මෙන් අපේක්ෂකයෙකු තෝරා ගැනීමට ජනතාවට භාර නොකොට දෙමළ සන්ධානය සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රසිද්ධියේ සහාය දැක්වීම තුළින් සිංහල ඡන්ද ගණනාවක් අහිමි වි ගියා.
ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂයේ සම්බන්ධන් මාවෙයි සුමන්තිරන් කියන අය ගන්න තීරණ තමයි දෙමළ ජාතික සන්ධානයේ තීරණ වුණේ. මේ හේතුව නිසා තමයි ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්, දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ වගේම ඊ.පී.ආර්.එල්එෆ් පක්ෂයේ අපිත් දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වුණේ. මේ ඉවත් විමට තමිල් අරසු කච්චි පක්ෂයේ නායකයින් හේතු වුණා.
2015 මැතිවරණයේදීත් සම්බන්ධන් සුමන්තිරන් යන අය මේ වගේ පොරොන්දු රැසක් දුන්නා. පසුව විපක්ෂනායක ධූරයද සහිතව විපක්ෂය විදිහට ආණ්ඩුවට සහාය දෙමින් කටයුතු කළා. රජයට ප්‍රශ්නයක් වූ සෑම අවස්ථාවකදීම රජය බේරා ගත්තා. ජිනීවා ප්රශ්නයේදීත් රජය ආරක්ෂා කරගත්තා.
එදා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී දෙමළ ජාතික සන්ධානය හරි විදිහට කටයුතු කළා නම් දෙමළ ජනතාවගේ මානව හිමිකම් ප්රශ්නය මානව හිමිකම් කවුන්සිලයෙන් එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය වෙතම යොමුකරන්න තිබුණා.
ජාතික ගැටලුවට විසඳුම් සැපයෙන නව ව්‍යවස්ථාවක් ගෙන එන බවත් ඒතාක් රජයට සහාය දැක්විය යුතු බවත් තවත් වසරක් දෙකක් තුළ නව ව්‍යවස්ථාවක් ගෙන එන බවත් ප්‍රකාශ කළා. නමුත් අදට වසර හතරහමාරයි ව්‍යවස්ථා කෙටුම්පතත් කුණු කූඩයට විසිවෙලා තියෙනවා. මේ දෙය කියමින් දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ප්රශ්නය, දෙමළ ජනතාවගේ ඉඩම් ප්රශ්නය ආදි මූලික ගැටලු රාශියක්ම අත්හරිමින් දෙමළ ජාතික සන්ධානය කටයුතු කළා.
අක්කර 2000ක් නිදහස් කර ඇති බව ප්‍රකාශ කළා. නමුත් ඉඩම් අක්කර ගණනාවක් තවමත් ආරක්ෂක හමුදාව භාරයෙයි තියෙන්නේ. දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ප්රශ්නය, දෙමළ ජනතාවගේ ඉඩම් ප්රශ්නය ආදී ප්‍රශ්න සියල්ලටම නව ව්‍යවස්ථාව තුළින් විසදුම් ලැබෙයි කිව්වා.
දෙමළ ජාතික සන්ධානයේ මොවුන්ගේ ක්‍රියාකලාපයට උරන වෙලයි දෙමළ ජනතාව සිටින්නේ. ඒ බව පසුගිය පළාත් පාලන මැතිවරණයේදි දෙමළ ජනතාව ලබාදුන් ඡන්දවලින්ම පෙනී යනවා. දෙමළ ජාතික සන්ධානයේ ඡන්ද 50%කට අධිකව අඩු වෙලා තියෙනවා.
පසුගිය වසර හතරහමාරක කාලයේ කටයුතු වලින් තමන් පරාජය වූ බව සුමන්තිරන් වටහා ගත යුතුයි. ඒ පරාජයෙන් පසුවත් නැවතත් එක්සත් බවක් ගැන කතා කිරීමේ ජනතාව මුලා කර ඡන්ද කොල්ලකෑමක් විදහටයි දකින්නේ.
දෙමළ ජාතික සන්ධානය විපක්ෂයේ සිටියත් ආණ්ඩුවත් සමඟ එක්ව කටයුතු කළා. උතුරු නැගෙනහිර රජයේ නියෝජිතයින් විදිහට කටයුතු කළා. නමුත් උතුරු නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් කිසිදු දෙයක් කළේ නැහැ.
ප්‍රධාන පක්ෂ දෙකට දකුණේ සිංහල ජනතාව ඡන්දය දුන්නත් උතුරු නැගෙනහිර දෙමළ ජනතාව බොහෝ දෙනෙක් එහෙම ඡන්දය දෙන්නෙ නැහැ. මේ නිසා විකල්ප බලවේගයක් හෝ පොදුජන පෙරමුණ තුනෙන් දෙකක බලය ගැනීම වැළැක්වීමක් කරන්න අවශ්‍යතාවක් නැහැ.
නව රජයක් තුනෙන් දෙකක ඡන්දයෙන් බලයට පත්වුණොත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරයි. එක් පුද්ගලයෙකුට දීර්ඝ කාලයක් ජනාධිපති වී සිටිමට ඉඩකඩ සැලසෙනවා. ඒ තුළින් හානිය වෙන්නෙත් සිංහල ජනතාවටයි. දෙමළ ජනතාව විවිධාකාරයෙන් අගතියට පත්වෙලා තියෙනවා. අපේ ආරක්ෂාව ගැන අපි වගබලාගන්නවා හැරෙන්න තුනෙන් දෙකක බලය ඇල්ලීමේ උත්සාහය වළක්වන්නට යන සුමන්තිරන්ගේ උපාය දෙමළ ජනතාව තව තවත් රැවටීමක්‘‘ යැයිද ප්‍රේමචන්ද්‍රන් මහතා වැඩිදුරටත් පැවසීය.