ජංගම දුරකථනයෙන් ඉමෝ තාක්ෂණය ඔස්සේ කාන්තාවකට නිරුවත පෙන්වූ බව කියන පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ වැටලීම් ඒකකයේ (මත්ද්‍රව්‍ය) ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂකවරයෙකුගේ වැඩ තහනම් කළ බව සහකාර පොලිස් අධිකාරී ඩී.යූ.පී. අමරතුංග මහතා පැවසීය.
පොලිස් පරීක්ෂකවරයා නාන කාමරයක සිට ඉමෝ තාක්ෂණය ඔස්සේ තමන්ට නිරුවත පෙන්වා අයුතු යෝජනාවක් කළ බවට පානදුර පමුණුගම ප්‍රදේශයේ කාන්තාවක් විසින් සිදුකරන ලද පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනයකින් අනතුරුව එම පියවර ගත් බව සහකාර පොලිස් අධිකාරීවරයා කීය.
පොලිස් පරීක්ෂකවරයා ඉමෝ තාක්ෂණය ඔස්සේ නිරුවත පෙන්වන අවස්ථාවේදී පැමිණිලිකාරිය එහි ඡායාරූප කීපයක් ජංගම දුරකථනයෙන් ලබාගෙන පැමිණිල්ල සමග ඉදිරිපත් කර තිබූ බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෑතකදී විදේශගතව පැමිණි බව කියන අදාළ කාන්තාවගේ සහෝදරයා වැඩ තහනමට ලක් වූ පොලිස් පරික්ෂකවරයා විසින් හෙරොයින් සමග පසුගියදා අත්අඩංගුවට රිමාන්ඩ් භාරයට පත්කර තිබූ අතර, එයින් දින කිහිපයකට පසු ඔහු පැමිණිලිකාර කාන්තාව සමග ජංගම දුරකථන පණිවුඩ හුවමාරු කරගෙන යම් සුහදතාවක් ඇති කරගෙන තිබූ බවට පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමේදී අනාවරණය වූ බව සහකාර පොලිස් අධිකාරී අමරතුංග මහතා කීය.