ලොව වැඩිම කොවිඩ් ආසාදිතයන් වාර්තා වූ රටවල් ලැයිස්තුවේ චීනය පසුකරමින් ඉන්දියාව සහ පේරු යන රාජ්‍යයන් ඉදිරියට පැමිණ තිබේ.
මේ වනවිට වෛරසය පාලනය කර ඇති චීනය ආසාදිත ලැයිස්තුවේ 11 වැනි ස්ථානයේ මේ දක්වා සිටියත්, ඉන්දියාවේ සහ පේරු රාජ්‍යයේ ආසාදිත අගය වැඩිවීමත් සමග චීනය 13 වැනි ස්ථානයට පත්ව තිබේ.
ඒ අනුව අද (16දා) අලුයම වනවිට එහි 11 වැනි ස්ථානයට ඉන්දියාව පැමිණ ඇත්තේ ආසාදිතයන් 85,784ක් සමගිනි. එමෙන්ම එහි 12 වැනි ස්ථානයට පේරු රාජ්‍ය පැමිණ ඇත්තේ ආසාදිතයන් 84,495ක් වාර්තා කරමිනි.
ඉන්දියාවේ මේ දක්වා ආසාදිත මරණ 2,753ක් වාර්තා වන අතර, සුවය ලැබූවන් 30,258කි. පේරු රාජ්‍යයෙන් මරණ 2,392ක් වාර්තා වන අතර, සුවය ලැබූවන් 27,147කි.
කෙසේ වෙතත් වෛරසය සම්පූර්ණයෙන්ම පාහේ පාලනය කර ඇති චීනයේ ආසාදිත අගය මේ වනවිට වාර්තා වී තිබුණේ 84,031ක් ලෙසිනි. එරටින් මරණ 4,673ක් වාර්තා වූ අතර, වෛරසය ආසාදිතව සුවය ලැබූවන් සංඛ්‍යාව 79,273කි.