පෞද්ගලික හා පොදු යන දෙඅංශයෙන්ම ඉන්දියාවේ සෞඛ්‍ය වියදම් පසුගිය වසර හය තුළ දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.6% ක් පමණ වූ අතර, එය බ්‍රික්ස් රටවල් පහේ අඩුම ප්‍රතිශතය ලෙස සැලකෙයි.
එම රටවල් කාණ්ඩයෙන් 2018 වසරේදී බ්‍රසීලය වැඩිම සෞඛ්‍ය වියදමක් තම ජනතාව වෙනුවෙන් වෙන්කර ඇති රාජ්‍ය වන අතර, එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 9.2%ක් වන අතර, දකුණු අප්‍රිකාව 8.1%ක්, රුසියාව 5.3%ක් සහ චීනය 5%ක් ලෙස දැක්වෙයි.
සංවර්ධිත රටවල් ඔවුන්ගේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සෞඛ්‍යයට වඩා බෙහෙවින් වැඩි මුදලක් වෙන් කර තිබේ. නිදසුනක් වශයෙන්, 2018 දී එක්සත් ජනපදයේ වියදම් දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 16.9%ක් සහ ජර්මනිය 11.2%ක් විය. ශ්‍රී ලංකාව (3.76%) සහ තායිලන්තය (3.79%) වැනි කුඩා රටවල් පවා ඉන්දියාවට වඩා ඔවුන්ගේ සෞඛ්‍ය ක්ෂේත්රය වෙනුවෙන් වියදම් කරන බව ලෝක බැංකු දත්ත පෙන්වා දෙයි.
ඉන්දියාවේ පුද්ගලයන් 10,000කට වෛද්‍යවරුන් 10කට වඩා අඩු සංඛ්‍යාවක් සිටින අතර සමහර ප්‍රාන්තවල එම සංඛ්‍යාව 5කට වඩා අඩුය.
ඉන්දියාව පළමු වැනි කොරෝනා රැල්ලට මුහුණ දීමෙන් පසුව දෙවැනි රැල්ලක් මැඬපැවැත්වීම සඳහා අවශ්‍ය සූදානම පිළිබඳව එරට ප්‍රබල සෞඛ්‍ය කමිටු කිහිපයක් පසුගිය වසරේදී විමසා බැලූ අතර ඔක්සිජන්, ඇඳන් සහ ඖෂධ හිඟය සම්බන්ධයෙන් විශේෂඥයන් කලබලයට පත්ව තිබුණි.
"පළමු රැල්ල පාලනය වනවිට, ඔවුන් තමන්ට සිදුවිය හැකි නරකම දේ උපකල්පනය කරගෙන දෙවැනි රැල්ලකට සූදානම් විය යුතුව තිබුණා. ඔවුන් ඔක්සිජන් සහ ඖෂධ නිෂ්පාදන හෝ ආනයන ධාරිතාව ඉහළ නැංවිය යුතුව තිබුණා" යැයි මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ හිටපු සෞඛ්‍ය ලේකම් පැවසීය.
බලධාරීන් පවසන්නේ ඉන්දියාව ඉල්ලුමේ ඉහළ යාම සඳහා ප්‍රමාණවත් තරම් ඔක්සිජන් නිපදවන නමුත් ප්‍රවාහනයේ ගැටලුවක් පවතින බවය. කෙසේ වෙතත් විශේෂඥයන් පවසන්නේ මෙය මීට බොහෝ කලකට පෙර නිවැරදි කළ යුතුව තිබූ දෙයක් බවය.
රජය දැන් විශේෂ දුම්රිය ධාවනය කරමින් එක් ප්‍රාන්තයකින් තවත් ප්‍රාන්තයකට ඔක්සිජන් රැගෙන යාම සිදුකරන අතර, කර්මාන්ත ශාලාවල ඔක්සිජන් භාවිතය නවත්වා තිබේ. එමෙන්ම විදේශයන්ගෙන්ද ඔක්සිජන් උත්පාදක යන්ත්‍ර රැසක් ඉන්දියාව වෙත දැන් ලැබී තිබේ. නමුත් ඉන්දියාවේ තවමත් ඔක්සිජන් නොමැතිව මියයන මිනිසුන් ගැන දිනපතා අසන්නට ලැබේ.
අවසන් වශයෙන් ඉන්දියාවේ පාලකයන් විසින් ජනතාව අනතුරේ හෙළා ඇති බවට චෝදනා නැගෙයි. සෞඛ්‍ය විශේෂඥයන්ගේ සහ එම කමිටුවලට පයින් ගසා දේශපාලන තීන්දු තීරණ මත වසංගතයන් පාලනය කිරීමට යෑම හෝ වසංගත නොසලකා හැරීමේ පළවිපාක මේ වනවිට ඉන්දියානු ජනතාව බුක්ති විඳිමින් සිටියි. ඇති හැකි බලවතුන් විදේශයන්ට හෝ ගොස් මේ වසංගතයෙන් බේරීමට උත්සාහ කරද්දී, කිසිදු හව්හරණක් නොමැති අසරණයෝ හුස්ම යදිමින් මියයති.