ඉන්දියාවේ දාලිත් කුලයේ තවත් තරුණියක සමූහ දූෂණයකින් මියයෑමේ පුවත එරට තුළ කම්පනය හා කෝපය ඉහළ නංවා තිබේ.
22 හැවිරිදි මෙම තරුණිය ප්‍රාදේශීය විද්‍යායතනයකට ඇතුළත් වීමට අයදුම් කිරීමට ගොස් සිටියදී, ඇය වාහනයකට බලහත්කාරයෙන් නංවාගෙන ගොස් සමූහ දූෂණයකට ලක්කර ඇත.
ඉහළ කුලයේ පිරිමින් අතින් සමූහ දූෂණයකට ලක්වූ 19 හැවිරිදි තවත් දලිත් තරුණියක පසුගිය අඟහරුවාදා මියයෑමේ පුවතින් පසුව මෙම සිදුවීම වාර්තා වීම ජනතාවගේ කෝපය දෙගුණ තෙගුණ කර ඇත.
ඉන්දීය කුල ක්රමයේ පතුලේ සිටින දාලිත්වරුන් ආරක්ෂා කිරීම සඳහා නීති තිබුණත්, ඔවුන් එරට සමාජ තුළ දැඩි වෙනස්කමකට භාජනය වන පිරිසකි.
මෙම මරණ දෙකම උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වන අතර, මේ වනවිටත් ප්‍රාන්තයේ වීදිවල උද්ඝෝෂණ අවුලුවා තිබේ.
බල්රම්පූර් දිස්ත්‍රික්කයේ සිදු වූ නවතම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් ස්ත්‍රී දූෂණ හා මිනීමැරුම් චෝදනා යටතේ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මීට පෙර අපරාධය සිදුව තිබුණේ ඊට කිලෝමීටර් 500 ක් (සැතපුම් 310 ක්) දුරින් වූ හත්රාස් දිස්ත්‍රික්කයේ ය. දරුණු ලෙස තුවාල ලබා සිටි එම තරුණිය සති දෙකක කාලයක් ජීවිතයත් මරණයත් අතර සටනකින් පසු දිල්ලි රෝහලකදී මිය ගියාය.
ඉන්දියාවේ ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් දැඩි නීති හඳුන්වාදීමට දිල්ලියේ බස් රථයක් තුළ සමූහ දූෂණයට ලක්ව පසුව සිංගප්පූරු රෝහලකදී මියගිය වෛද්‍ය ශිෂ්‍යාවගේ සිදුවීම මුල් වුවත්, එරට දූෂණ අපරාධවල අඩුවක් නොමැති බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.