ඉන්දියාවට පලාගොස් සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් වන දින මුල්ල කංකානම්ලාගේ නලින් චතුරංග හෙවත් "ලඩියා "නමැත්තාට අයත් බව කියන රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා බස් රථ තුනක් අද 13 පොලිස් භාරයට ගත් බව අතුරුගිරිය පොලිසිය කියයි.
එම බස්රථ සමඟ ලඩියා නමැත්තාගේ ඥාතියෙක් ( මාමා) හා ඔහුගේ සමීපතමයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය කියයි .
පොලිසිය භාරයට ගත් එම බස්රථ අතර සුඛෝපභෝගී කුඩා බස් රථ දෙකක් සහ විශාල ප්‍රමාණයේ ලේලන්ඩ් බස් රථයක් ද වන බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
අතුරුගිරිය පොලිසියට අනුයුක්ත බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව අතුරුගිරියේ ජයන්ති මාවතේ දී "ලඩියගෙ "ගෝලයෙක් අත්අඩංගුවට ගෙන ඔහු පරිහරණය කරමින් තිබූ බස් රථය පොලිස් භාරයට ගෙන එහි ලිපි ලේඛන පරික්ෂා කිරීමේදී එම බස් රථය ලදී ලඩියාගේ නමින් ලියාපදිංචි වී තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය .
එම සැකකරුගෙන් කරන ලද දීර්ඝ විමර්ශනයේදී කාන්තාවකගේ නමට ලඩියා විසින් මුදල් වියදම් කර මිලදී ගත් සුඛෝපබෝගී බස් රථයක් නවගමුව වඩූරාමුල්ල ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය සඳහා යොදවා තිබියදීත් අනෙක් බස් රථය හෝමාගම ප්‍රදේශයේ පුද්ගලයකුගේ නමට මිලදී ගෙන තිබියදී සොයා ගත් බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය .
මෙම බස් රථවලින් මාසිකව ලැබෙන ආදායම ලඩියගේ බිරිදගෙ බැංකු ගිණුමට බැර කරඇති බව විමර්ශනවලදී අනාවරණ වූ බව පොලිස් නිලධාරියෙක් කීය.
සංවිධානාත්මක අපරාධකරුවෙක් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ලඩියා නැමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් සහ ලබාගත් කප්පම් මුදල් වලින් මෙම බස් රථ මිලදී ගෙන ඇති බවත් මෙතෙක් කරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇති අතර එම බස් රථ සඳහා මුදල් විශුද්ධිකරණ පනත යටතේ කටයුතු කරන බව අතුරුගිරිය පොලිසිය කියයි
2017 වසරේ දී බන්ධනාගාර බස් රථයට කළුතර එතනමඩල ප්‍රදේශයේදී ප්‍රහාරයක් එල්ල කර "සමයන් "නමැති පාතාල නායකයා ව ඝාතනය කිරීමෙන් අනතුරුව අංගොඩ ලොක්කාගේ උපදෙස් මත ලඩීයා නැමැත්තා ඉන්දියාවට පලාගොස් මේ වනවිටත් සැඟවී සිටින බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය
අතුරුගිරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිලක වීරසිංහ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.
බිමල් ශ්‍යාමන්