ඉන්දුනීසියාවේ, දකුණු සුලවේසි ප්‍රාන්තයේ අගනුවර වන මාකසාර් හි කතෝලික පල්ලියක් ඉලක්ක කරමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් අද (28දා) එල්ල වී ඇති අතර, පල්ලිය ඉදිරිපිටදී බෝම්බය පුපුරා ගොස් තිබේ.
මෙම පිපිරීමෙන් මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනා මියගොස් ඇති අතර, තවත් 14 දෙනෙකු තුවාල ලැබූ බව පොලීසිය පවසයි.
එලැඹෙන පාස්කු ඉරිදා දිනයට ප්‍රථම පල්ලියේ පැවති දේව මෙහෙයක් අවසානයේදී යතුරුපැදියක පැමිණි මෙම මරාගෙන මැරෙන බෝම්බකරුවන් පල්ලියට ඇතුළුවීමට උත්සාහ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ආගෝ යුවෝනෝ පැවසීය.
ඒ අනුව මෙම බෝම්බකරුවන්ව පල්ලියේ ආරක්ෂක නිලධාරියා විසින් නැවැත්වීමත් සමග එරට වේලාවෙන් අද 10.20 ට පමණ පිපිරීම සිදුව ඇත.
සැකකාර බෝම්බකරුවන් දෙදෙනාට අමතරව, එම ස්ථානයේ තිබී සොයාගත් අනෙකුත් ශරීර කොටස් පිළිබඳවද පොලිසිය පරීක්ෂණ පවත්වයි. තුවාල ලැබූවන් අසල රෝහල්වල වෙත යොමුකර ඇත.
දකුණු සුලවේසි පොලිස් ප්‍රධානී මර්ඩිසියාම් වාර්තාකරුවන්ට පැවසුවේ පිපිරීම ප්‍රබල බෝම්බ ප්‍රහාරයක් වුවත්, පල්ලියට සැලකිය යුතු හානියක් සිදු නොවූ බවයි.
පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර, මෙය ඉස්ලාම් අන්තවාදී ප්‍රහාරයක් බව විශ්වාස කෙරෙයි. මේ ආකාරයෙන්ම පාස්කු ඉරිදා කතෝලික දේවස්ථාන ඉලක්ක කරමින් ඉස්ලාම් අන්තවාදීන් විසින් ශ්‍රී ලංකාවේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් දියත් කළේය.