ශ්‍රීවිජය එයාර් ගුවන් යානයේ අනතුරට ගොදුරු වූවන් අතර ගැබිනි මවක්, පස් දෙනෙකුගෙන් යුත් පවුලක් ඇතුළු ව්‍යාපාරික හා පෞද්ගලික සංචාරයන්ට එක්වූ පිරිස් සිටින බව විදෙස් වාර්තා පෙන්වා දෙති.
ඉන්දුනීසියාවේ ජාතික සෝදිසි හා මුදාගැනීමේ නියෝජිත කණ්ඩායම සෙනසුරාදා ගුවන් ගත වූ සැණින් සාගරයට කඩා වැටුණු ශ්‍රීවිජය එයාර් 182 යානයේ සිටි පුද්ගලයින් 62 සොයාගැනීම සඳහා සෝදිසි මෙහෙයුමක් දිගටම සිදුකරන බව පවසයි
බෝයිං 737-500 යානය ජකර්තා සිට ඉන්දුනීසියාවේ පොන්තියානාක් නගරයට යමින් සිටියදී ප.ව. 2:40 ට පමණ රේඩාර් තිරයෙන් අතුරුදන් වූවේ ජකර්තා හි සොකර්නෝ-හත්ත ජාත්‍යන්තර ගුවන් තොටුපළට නාවික සැතපුම් 11ක් උතුරිනි.
ඉන්දුනීසියාවේ ප්‍රවාහන අමාත්‍යවරයාට අනුව යානයේ මගීන් 50ක් ගමන් කරමින් සිට ඇති අතර, එහි වැඩිහිටියන් 43ක් සහ ළමයින් 7ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 12 දෙනෙකු සිට ඇත.
මේ වනවිටත් මෙම පවුල්වල ඥාතීන් ජකර්තා හි වින්දිතයින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානයක සහ පොන්තියානාක් හි මධ්‍යස්ථානයක රැස්ව සිටින අතර, එහිදී ඔවුන්ගේ ආදරණීයයන් පිළිබඳ ඕනෑම ප්‍රවෘත්තියක් එනතෙක් ඔවුන් කඳුළු පිරි දෙනෙතින් බලා සිටි බව විදෙස් වාර්තා පවසයි.
මෙසේ අතුරුදන් වූවන් අතර, සුමත්රාවට නැගෙනහිරින් පිහිටි දූපතක් වන බන්කා දූපතේ පස් දෙනෙකුගෙන් යුත් පවුලක් මිය යන්නට ඇතැයි විශ්වාස කෙරෙයි. එහිදී 26 හැවිරිදි රිස්කි වහුඩි, ඔහුගේ 26 හැවිරිදි බිරිඳ සහ ඔවුන්ගේ මාස 7ක් වයසැති පුතාත්, වාහුඩිගේ මව සහ ඥාති සහෝදරයාද ගුවන් යානයේ සිටියහ.
මාස හතරක ගැබිනියක්ව සිටි රති වින්ඩනියා සහ ඇගේ 2 හැවිරිදි දියණිය ජකර්තාහි පවුලේ සාමාජිකයන් බැලීමට යමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති අතර, එවැනි තවත් බොහෝ පිරිසක් මෙම ඛේදවාචකයෙන් අතුරදන්ව තිබේ. මොවුන් සියලු දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බව මේ වනවිට විශ්වාස කෙරෙයි.