නව කොරෝනා වසංගතය ආරම්භයේ සිට මේ දක්වා ඉතාලියේ ඉහළම දෛනික කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.
ඉතාලි සෞඛ්‍ය බලධාරීන් පැවසුවේ ගෙවීගිය දිනයේ කොවිඩ්-19 ආසාදිතයන් 7,332ක් වාර්තා වී ඇති බවත්, වසංගතය ආරම්භ වූදා සිට මේ දක්වා තහවුරු වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව අවම වශයෙන් 372,799ක් බවත්ය.
වසංගතයේ පළමු රැල්ල පැවති සමයේ පැය 24ක කාලයක් තුළ අවම වශයෙන් ආසාදිතයන් 6,557ක් ඉතාලියෙන් වාර්තා වී තිබුණේ පසුගිය මාර්තු මස 21 වැනිදාය.
මීට අමතරව ගෙවීගිය දිනයේ පුද්ගලයින් 43 දෙනෙකු කොවිඩ්-19 ආශ්‍රිතව මියගොස් ඇති අතර, ඉතාලියේ සමස්ත මරණ සංඛ්‍යාව අවම වශයෙන් 36,289ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එසේම මේ වනවිට ඉතාලියේ දැඩි සත්කාර ඒකකයේ සිටින රෝගීන්ගේ සංඛ්‍යාව 25කින් වැඩි වී ඇත.
වසංගතයේ පළමු රැල්ල අතරතුර යුරෝපයේ දරුණුතම බලපෑමට ලක්වූ රටක් ලෙස ඉතාලිය හැඳින්වූ අතර, මේ වනවිට තවත් විශාල ආසාදිත රැල්ලක් සමග ඔවුන් සටන් කරමින් සිටින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
ඉතාලි අගමැති ගුසෙප් කොන්ටේ සහ සෞඛ්‍ය අමාත්‍ය රොබර්ටෝ ස්පෙරන්සා විසින් නිවේදනය කෙරුණේ, නිවෙස්වල සිටියදී හැර වෙනත් ඕනෑම ගෘහස්ථ ස්ථානවල මුඛ ආවරණ අනිවාර්ය කර ඇති බවය. එමෙන්ම නිවසේ හය දෙනෙකුට වඩා කණ්ඩායම් වශයෙන් රැස් නොවන ලෙසද ඔවුහු ජනතාවගෙන් ඉල්ලා සිටියහ.