නව කොරෝනා වෛරසය වැලඳී ඇති බවට සැක කෙරෙන පුද්ගලයන් සති අන්තයේ දකුණු ඉතාලියේ නේපල්ස්හි රෝගීන්ගෙන් පිරීගිය රෝහල් වෙත ඇතුළත් කිරීමට බලා සිටියදී, ඔවුන්ට සිය මෝටර් රථ තුළදීම හදිසි ඔක්සිජන් ලබාදීමේ ප්‍රතිකාර ආරම්භ කර තිබේ.
නේපල්ස් හි කොටුග්නෝ රෝහලෙන් පිටත වාහන පෙළක් සෙනසුරාදා සහ ඉරිදා රෝහල ඉදිරිපිට නවතා තිබූ අතර, ඔවුන් රෝහලට ඇතුළත් කරගැනීම සඳහා එහි ඉඩ පහසුකම් මදිවිය. මේ තත්ත්වය මත එසේ පැමිණි අයගෙන් වෛරස් රෝග ලක්ෂණ පෙන්නුම් කරමින් සිටි අයට ඒ මෝටර් රථ තුළදීම ප්‍රතිකාර කිරීම දුක්ඛිත දසුනක් වූ බව විදෙස් වාර්තා පවසයි.
රෝහලේ අධ්යක්ෂ මොරිසියෝ ඩි මවුරෝ පැවසුවේ රට පුරා රෝහල් පිරී ගොස් ඇති බැවින් ජනතාව භීතියට පත්ව සිටීම නිසා ඔවුන්ට ප්‍රතිකාර කිරීම ඔවුන්ගේ වාහන තුළදීම ආරම්භ කිරීමට තීරණය කළ බවයි.
"ඇත්තටම දැන් මිනිස්සු බය වෙලා." ඔහු පැවසීය. "ඔවුන් පොඩි කැස්සක් ඇති වුණත් රෝහල වෙත දිව එනවා. විශේෂයෙන් සති අන්තයේදී ඔවුන්ට තනිකමක් දැනෙනවා. ඔවුන් මේ වසංගතය ගැනම සිතමින් සිටිනවා."
පසුගිය බදාදා රට පුරා ආසාදන වැඩිවීමකට මුහුණ දෙමින් ඉතාලි රජය කලාප හතරක් කොවිඩ්-19 වෛරසයේ 'රතු කලාප' බවට ප්‍රකාශ කළේය. එම කලාපවල මිනිසුන්ට නිවසින් පිටවිය හැක්කේ අත්‍යවශ්‍ය, සෞඛ්‍යය හෝ රැකියාවට යෑමේ අවශ්‍යතා සඳහා පමණි.
තවත් කලාප හතක් 'තැඹිලි කලාප' ලෙස නම් කරන ලද අතර, රැකියා හෝ සෞඛ්‍ය හේතූන් මත හැර මිනිසුන්ට නගරවලින් පිටවීම තහනම් විය. එම ප්‍රදේශවල ආහාර බෙදා හැරීමට හැර බාර් සහ අවන්හල් වසා ඇත.
මේ අතර, මේ වනවිට ඉතාලියේ කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව මිලියනයක සීමාව පසුකර ඇති අතර, ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය එය සටහන් කළේ 1,028,424ක් ලෙසිනි. එසේම ඉතාලියේ මරණ සංඛ්‍යාව 42,953ක් දක්වා ඉහළ ගොස් ඇත.