ස්වීඩනය තුළ මෙතෙක් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 එන්නත භාවිත කිරීම වළක්වා තිබූ ඉහළ වයස් සීමාව ඉවත් කරමින්, වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයන්ටද එම එන්නත භාවිත කිරීමට ඉඩ සැලසීමට ස්වීඩනයේ සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබේ.
"එක්සත් රාජධානියේ නව දත්ත මගින් සනාථ කරනුයේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත වයස අවුරුදු 65ට වැඩි අයට පවා හොඳ ආරක්ෂිත බලපෑමක් ඇති කරන බවයි" යනුවෙන් එරටය සෞඛ්‍ය අධිකාරිය ඊයේ (04දා) ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.
මුලින් බොහෝ යුරෝපීය රටවල් එන්නත ලබන්නන්ගේ වයස සඳහා ඉහළ සීමාවක් නියම කර තිබූ අතර, වයස්ගත පුද්ගලයන්ට මෙම එන්නතෙහි බලපෑම් පිළිබඳ සායනික අධ්‍යයන තොරතුරු නොමැතිකම උපුටා දක්වා තිබුණි.
ඒ අනුව පෙබරවාරි මාසයේදී ස්වීඩන් සෞඛ්‍ය අධිකාරිය මෙම එන්නත අනුමත කළේ වයස අවුරුදු 65ට අඩු පුද්ගලයන් සඳහා පමණි. මන්දයත් එම අවස්ථාවේදී වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයන් සඳහා එන්නතෙහි ආරක්ෂිත බලපෑම පිළිබඳ දත්ත ඉතා අල්ප වූ නිසාය.
මේ නිසා කොවිඩ්-19 විසින් බරපතල රෝගාබාධ හා මරණයට පත්වීමේ අවදානම හේතුවෙන් වැඩිහිටියන් ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව විශේෂයෙන් ඉහළ මට්ටමක පැවති බැවින් ඒ සම්බන්ධයෙන් වැඩි දත්ත ප්‍රමාණයක් බලා සිටීමේ අවශ්‍යතාව පැවතිණි.
කෙසේ වෙතත් ස්වීඩන් ප්‍රාන්ත වසංගත රෝග විද්‍යාඥ ඇන්ඩර්ස් ටෙග්නෙල් පැවසුවේ "ලබාදෙන සියලුම එන්නත් ඉතා ඵලදායී වන අතර, දැනට පවතින අධ්‍යයනවලට අනුව අවුරුදු 18 ට වැඩි ඕනෑම කෙනෙකුට හොඳ ආරක්ෂිත බලපෑමක් එන්නත් මගින් ඇති කරනවා." යනුවෙනි.
එන්නත් තුනක් ස්වීඩනයේ භාවිතය සඳහා අනුමත කර ඇති අතර, ෆයිසර් - බයෝඑන්ටෙක්, මොඩෙර්නා සහ ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රාසෙනෙකා ඒ අතර වෙයි.