ව්‍යාජ ඇල්බේනියාවට අයත් වීසා ගුවන් ගමන් ඉදිරිපත් කර , ඉරානයේ දේශසීමා තරණය කරමින් , යුරෝපයේ ඇල්බේනියාවට පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයන් දෙදෙනකු ඊයේ (1) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළේ දි ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් වෙත භාර දි තිබේ .
මොවුන් යාපනය ප්‍රදේශයේ පදිංචි මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කරන ආයතනයක සේවය කරන 21 හැවිරිදි සහ 30 හැවිරිදි වියේ පසුවන තරුණයන් දෙදෙනෙකි .
මොවුන් දෙදෙනා ඕමානයේ මස්කට් නුවර සිට , ඉරානයේ ටෙහෙරාන් නුවර වෙත යාම සදහා ගුවන් ප්‍රවේශ පත්‍ර දෙකක් මිලදි ගැනීම සදහා , කටුනායක ගුවන් තොටුපළ ඕමාන් ගුවන් සේවයේ කවුන්ටරය වෙත පැමිණ තිබේ .
එහිදි මෙම තරුණයන් දෙදෙනා ඉදිරිපත් කළ , ඇබේනියානු ගුවන් ගමන් බලපත්‍ර දෙක පිළිබඳව සැක සිතූ , එම ගුවන් සේවා බලධාරින් , වහාම මොවුන් දෙදෙනා ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත යොමු කර තිබේ .
එහිදි සිදු කළ තාක්ෂණික පරීක්ෂණ වලදී , මෙම ගුවන් ගමන් වීසා බලපත් සූක්ෂම ලෙස සකස් කළ ව්‍යාජ ඇල්බේනියානු වීසා බලපත්‍ර බව අනාවරණය විය.
මොවුන් දෙදෙනාගේ අරමුණ වූයේ ඕමානයේ මස්කට් වෙත ගොස් , එතැන් සිට දේශසීමා තරණය කරමින් , ඉරානයේ ටෙහෙරාන් වෙත ඇතුළු වී , ඉන්පසුව යුරෝපයේ ඇල්බේනියාවට පැන ගැනීම බව පසුව සිදු කරන ලද පරීක්ෂණ වල දී සොයාගෙන තිබේ .
වහාම මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් , ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ නිලධාරීහු , මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ .