ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් රජය දශක හයකට වඩා වැඩි කාලයකට පසුව ප්රථම වරට මිනීමැරුම් සහ පැහැරගැනීම් චෝදනාවකට වරදකරු වූ කාන්තාවකට මරණ දඬුවම ක්රියාත්මක කිරීමට සූදානම් වෙයි.
ඒ අනුව ඇය සමග තවත් වරදකරුවන් දෙදෙනෙකුට වසර අවසානයේදී මාරාන්තික එන්නත් ලබාදීමෙන් මරණ දඬුවමට ලක්කිරීම සඳහා දින නියම කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
මෙසේ දශක හයකට පසුව මරණ දඬුවම ලබන ඇමෙරිකානු කාන්තාව නමින් ලීසා මොන්ට්ගොමරි ය. ඇයට ලබන දෙසැම්බර් 8දා මාරාන්තික එන්නත ලබාදීමට අපේක්ෂා කරන බව එරට අධිකරණ දෙපාර්තමේන්තුව පවසයි.
මාස 8ක ගැබිනියක්ව සිටි මිසූරි කාන්තාවක් ගෙල සිරකර ඝාතනය කර, පසුව කපා කොටා ඇගේ කුසේ සිටි දරුවා පැහැරගෙන යාම සම්බන්ධයෙන් 2004 දී ලීසා වරදකරු වී තිබේ.
එක්සත් ජනපද බන්ධනාගාර කාර්යාංශයේ වාර්තාවලට අනුව, එක්සත් ජනපද ෆෙඩරල් රජය විසින් අවසන් වරට කාන්තාවකට මරණ දඬුවම ක්රියාත්මක කර ඇත්තේ වර්ෂ 1953 දෙසැම්බර් 18 වැනිදාය.
මරණ දඬුවමට නියම වී ඇති ලීසා වෙනුවෙන් පෙනී සිටින නීතීඥයන් කියා සිටියේ තම සේවාදායකයා මානසික රෝගයකින් පෙළෙන බවත්, ළමා අපයෝජනයට ලක්ව සිටි තැනැත්තියක බවත්ය. ඒ අනුව මෙම නඩු විභාගයේදී ඒ සම්බන්ධනේ දුර්වල නියෝජනයක් ඇති බවත්, තීන්දුව අසාධාරණ බවත් කියා තිබුණි.