ඇමෙරිකාවේ සිට කූරියර් පාර්සල් 05 ක් තුළ සගවා කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට එවා තිබූ රුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා " කුෂ් " නැමැති ගංජා ග්රැම් 1,150 ක ප්‍රමාණයක් අද (10දා) ගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් සීදුව " කළම්බු කාර්ගෝ " ගබඩා සංකීර්ණයේ දී අත් අඩංගුවට ගැනීමට සමත් වු බව රේගු අධ්යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය මහතා පැවසීය.
මීට මාස 02 කට පමණ පෙර මෙම කූරියර් පාර්සල් 05 ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට එවා තිබූ අතර , ඒවා අයිතිකරුවන් වෙත මුදා හැරීම සදහා සීදුව පිහිටි කළම්බු කාර්ගෝ ගුදම් ගබඩා සංකීර්ණයේ ගබඩා කර තබා තිබුණි.
එහෙත් මෙම කූරියර් පාර්සල් භාර ගැනීම සදහා කිසිවෙකුත් නොපැමිණීම නිසා මේ පිළිබඳව සැක සිතූ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් , මේවායේ සඳහන් ලිපිනයන් සොයා විමර්ශන ආරම්භ කළ අතර , එහිදී එම කූරියර් පාර්සල් වල සදහන් ලිපිනයන් ව්‍යාජ ඒවා බවට තහවුරු විය.
ඒ අනුව 02/10 දින මෙම කූරියර් පාර්සල් 05 සීදුව කළම්බු කාර්ගෝ හිදී විවෘත කර පරීක්ෂා කරන ලෙස රේගු අධ්යක්ෂ ජනරාල්වරයා උපදෙස් දී තිබුණි. එහිදී මෙම කූරියර් පාර්සල් තුළ වූ සිසිල් බීම සකසන යන්ත්‍රයක ඇසුරුම තුළ ඉතා සූක්ෂම ලෙස මෙම "කුෂ්" නැමැති ගංජා තොගය අසුරා තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සොයාගෙන තිබුණි.