එක්සත් ජනපදයේ කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසයෙන් සිදුවන මරණ සංඛ්‍යාව 100,000කට වඩා පහළින් තිබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෛරසයේ පැතිරීම සම්බන්ධයෙන් මාධ්‍ය ඉදිරියේ අදහස් දක්වමින් මෙසේ පවසා සිටියේය.
"අපට අහිමි වන ජීවිත 100,000කට වඩා පහළින් පැමිණෙනු ඇතැයි අප අපේක්ෂා කරනවා." යැයි ට්‍රම්ප් කීවේය.
මේ දක්වා ඇමෙරිකාව තුළ වෛරසය පැතිරීම මන්දගාමී කිරීම සඳහා පසුගිය දින 30ක කාලය තුළ ඇමෙරිකානුවන් ගෙන ඇති පියවරලට ස්තූතිවන්ත වන බවද ඔහු කීවේය.
"අපි ජීවිත දහස් ගණනක් බේරාගත්තා. ඔබට අවශ්‍ය නම්, මට එය කරන්නට පුළුවන්. සිය දහස් ගණනකගේ ජීවිත බේරා ගැනීමට මට පුළුවන්." යැයි මේ වනවිටත් ලක්ෂ 11ක් ඉක්මවා ආසාදිතයන් සහ 64,800ක් ඉක්මවා මරණ වාර්තා වන ඇමෙරිකාවේ ජනාධිපතිවරයා උදම් ඇණුවේය.
ඔහු වැඩිදුරටත් පවසන්නේ, "100,000ක් කියන්නෙ භයානක සංඛ්‍යාවක්. වෛරසය එහි ප්‍රභවයෙන් නතර කරගත යුතුව තිබුණා. නමුත් බැරිවුණා" යනුවෙනි. කෙසේ වෙතත් ඔහු මෙහිද වෙනත් පාර්ශ්වයක් හෝ රටක් වෙත චෝදනාව පැටවීමට දරණ උත්සාහයක් දැකිය හැකිය.
ට්‍රම්ප් මුලින් පුරෝකථනය කළේ ඇමෙරිකාවේ මරණ 60,000ක් ඉක්මා නොයනු ඇති බවයි. නමුත් දැනටමත් මරණ සංඛ්‍යාව 65,000කට ආසන්නය. ඉන් පසුව ඔහුගේ පුරෝකථනය වූයේ වෛරසය ආශ්රිත මරණ සංඛ්‍යාව 70,000ක් ඉක්මවා නොයනු ඇති බවයි. මේ සියලු තත්ත්වයන් පසෙලකා දැන් ඔහුගේ මරණ ඉලක්කය 100,000කි.
ලොව කවර රටක මේ ඛේදවාචකය සිදුවූවද එය අතිශය දරුණු මිනිස් සංහාරයක් බඳුය. මිනිස් ජීවිතවල අගය සම්බන්ධයෙන් බරපතළ නොසලකා හැරීමක් සහ අර්බුදයක් ලොව බලවත්ම මෙන්ම, ලොව ප්රජාතන්ත්රවාදීම යැයි කියූ රට තුළ, දැන් ඇස් පනාපිටම විද්‍යමාන වෙමින් පවතින බව විදෙස් විචාරකයෝ අවධාරණය කරති.