කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පසුගිය වසරේ මෙන්ම මෙම වසරේ විනාශකාරී පසුබෑමෙන් පසුව ඇමෙරිකා එක්සත් ජනපද ආර්ථිකය යම් දුරක් පැමිණ තිබුණද, එයට සාමාන්‍ය තත්ත්වයට නැවත පැමිණීම සිහිනයක් බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.
මූඩීස් ඇනලිටික්ස් විසින් නිර්මාණය කරන ලද ආර්ථිකය යළි ප්‍රකෘතිමත් වීමේ දර්ශකය මෙහිදී සැලකිල්ලට ගෙන ඇති අතර, ඇමෙරිකානුවන්ගේ පාරිභෝගික ණය, විරැකියා ප්රතිලාභ, රැකියා සඳහා ඉල්ලුම් කිරීම්, අභ්‍යන්තර ගුවන් ගමන් ප්‍රමාණයන් සහ හෝටල්වල ක්‍රියාකාරීත්වය වැනි දත්ත සමග ජාතික හා ප්‍රාන්ත මට්ටමේ දර්ශක 37කින් මෙම දර්ශකය සමන්විත වේ.
ඒ අනුව මෙම දර්ශකයේ 93%ක ප්‍රතිශතයක් ඇමෙරිකාව ලබාගෙන තිබුණද, ඔවුන්ට 100%ක සාමාන්‍ය තත්ත්වයකට පත්වීම හෙවත් අවසාන සැතපුම කරා ළඟාවීම පහසු කාර්යයක් නොවන බව විශේලේෂකයෝ පෙන්වා දෙති. විශේෂයෙන්ම ඇමෙරිකාවේ විවිධ ප්රාන්තයන් මේ වනවිට වසංගත යුගයේ සීමාවන් ඉවත් කර ඇතත්, පෙර පැවති ජීවිතය සම්පූර්ණයෙන් නැවත ආරම්භ වී නොමැති බව ඔවුහු පවසති.
සැබවින්ම වසංගතය විසින් ඇමෙරිකානු ආර්ථිකයේ සමහර මූලධර්ම වෙනස් කර ඇති අතර, එයින් අදහස් වන්නේ එය කිසිවිටෙකත් සාමාන්‍ය තත්ත්වයට නොපැමිණෙන බව යැයි එම විශ්ලේෂකයෝ වැඩිදුරටත් පවසති.
ඇමෙරිකාව තුළ එන්නත්කරණය සමග ලොව බොහෝ රටවලට දොරටු විවෘත වීම තුළ, ඇතැම් පිරිස් නිවාඩු ගත කිරීමට රටින් පිටතට යෑමට යම් උනන්දුවක් දැක්වූවත්, පෙර පැවති ව්‍යාපාරික ගමන් එකම ආකාරයකින් නැවත ආරම්භ නොවනු ඇති බවද ඔවුහු පවසති.
මෙම තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් මූඩීස් විශ්ලේෂණ අංශයේ සහකාර ආර්ථික විද්‍යාඥ මැට් කොලියාර් පැවසුවේ, "ඇමෙරිකාවට නැවත නොලැබිය හැකි දෙයකට, නැවත පැමිණීම සිදුවේවිද කියා අප නිරීක්ෂණය කරමින් සිටිනවා." යනුවෙනි.
විශේෂයෙන්ම විරැකියා ප්රතිලාභ සඳහා වන හිමිකම් තවමත් කොවිඩ් වසංගතයට පෙර සාමාන්‍ය යැයි සැලකූ තත්ත්වයට වඩා දෙගුණයකටත් වඩා වැඩිය. "විරැකියා ප්රතිලාභ ලබන්නන් අහස උසට වැඩිවෙලා. ඔවුන් පහළට පැමිණිය යුතුයි" කොලෙයාර් වැඩිදුරටත් පැවසීය.