ට්‍රම්ප් පාලන සමයේදී සෞඛ්‍ය නිලධාරීන් විසින් මුලින් යෝජනා කළද, හිටපු ජනාධිපතිවරයා විසින් අවහිර කරනලද මුඛ ආවරණ පැලඳවීමට ජනතාව උනන්දු කරවමින් ඒවා සෘජුවම ජනතාව වෙත ලබාදීමේ වැඩපිළිවෙළ කොරෝනා වසංගතය හමුවේ ඇමෙරිකාව දිගින් දිගටම දැඩි පීඩනයකට නතුව ඇති මේ අවස්ථාවේදී ක්‍රියාවට නැංවීමට නව ජනපති ජෝ බයිඩන් සූදානම් වෙයි.
"අපි ඉතා ඉක්මණින් රට පුරා මුඛ ආවරණ මිලයන ගණනක විශාල ප්‍රමාණයක් යවනවා." කළු ජාතික ඉදිරිපෙළ වෘත්තිකයන් පිරිසක් සමග පැවති හමුවකදී බයිඩන් කීවේය. "මුඛ ආවරණ ප්රශ්නය දේශපාලන ප්‍රශ්නයක් බවට පත් කර තිබෙනවා. මේ නිසා ජීවිත විශාල ප්‍රමාණයක් අපට අහිමි වුණා."
"මිනිසුන් ඇහුම්කන් දුන්නේ නම් අපට වචනානුසාරයෙන් ජීවිත විශාල ප්‍රමාණයක් බේරා ගත හැකිව තිබුණා. අපි මුඛ ආවරණ පැලඳීම දේශපාලන ප්‍රකාශයක් බවට පත් කළා. ඔබ මුඛ ආවරණයක් පලඳින්නේ වසංගතයෙන් ආරක්ෂා වෙන්නද, නැත්නම් වෙනත් කෙනෙකු වෙනුවෙන්ද එය පැලඳීම හෝ ප්‍රතික්ෂේප කිරීම සිදුකරන්නේ කියන කාරණය බොහොම සරල මූලික විද්‍යාත්මක ප්‍රශ්නයක්." බයිඩන් කීවේය.
මුඛ ආවරණය දේශපාලනිකකරණය වීම හේතුවෙන් ඇමෙරිකාව තුළ වසංගතය ආරම්භයේ සිටම මුඛ ආවරණ පැලඳීම සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනයක් පැවතිණි. බොහෝ ට්‍රම්ප් හිතවාදීහු මුඛ ආවරණ ප්‍රතික්ෂේප කළ අතර, මේ හේතුවෙන් වසංගතය වේගවත්ව එරට පැතිර ගියේය.
කොවිඩ්-19 වසංගතය හමුවේ ලොවපුරා එන්නත් රැසක් මේ වනවිට ලබාදෙමින් තිබුණද, තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ වසංගත රෝග පිළිබඳ විශේෂඥයන්ගේ මතය වන්නේ මුඛ ආවරණ පැලඳීම, දෑත් නිතර සේදීම සහ සමාජ දුරස්ථභාවය යන කරුණු මෙම වසංගතය පරාජය කිරීමේ මූලික මෙවලම් බවය. විශේෂයෙන්ම ද්විත්ව මුඛ ආරවණ පැලඳීමේ යෝග්‍යතාව සම්බන්ධයෙන්ද කතාබහ ඇති වූයේ, වෛරසයේ වේගවත් පැතිරීමක් සහිත ප්‍රභේද කලඑළි බැසීම නිසාය.
වසංගතය සම්පූර්ණයෙන්ම පාහේ පාලනය කළ චීනය, වියට්නාමය, තායිවානය ආදී රටවල මුල සිටම මුඛ ආවරණ භාවිතයේදී ජනතාව ඒ කෙරෙහි දැක්වූ උනන්දුව මෙන්ම, එම රටවල රජයන් හා පාලකයන් මෙන්ම ආයතනිනක පරිසරයන්ද ඒ කෙරෙහි ජනතාව හා තම සේවකවන් නැඹුරු කරවීමට දැක්වූ ප්රයත්නය බොහෝසෙයින් අද මල්ඵල ගැන්වී ඇත.