කොවිඩ්-19 හෙවත් නව කොරෝනා ආසාදිතයන් වැඩි පිරිසක් එක්සත් ජනපදයෙන් වාර්තා වීම 'ගෞරවයේ ලාංඡනයක්' ලෙස තමා දකින බවත්, එක්සත් ජනපදය වැඩි පිරිසක් පරීක්ෂා කර ඇති බව ඉන් අදහස් කෙරෙන බවත් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි.
ජනාධිපතිවරයා ඊයේ (19දා) වොෂිංටන් ඩී.සී. හි ධවල මන්දිරයේ නැගෙනහිර කාමරයේ සිය කැබිනට් මණ්ඩලය සමග පැවති සාකච්ඡාවකදී වැඩිදුරටත් කියා සිටියේ, ලතින් ඇමෙරිකානු කලාපයට සිදුකෙරෙන සංචාරක තහනම ගැන තමා යළි සලකා බලමින් සිටින බවයි.
"අපි එය සලකා බලමින් සිටිනවා" ලතින් ඇමරිකාවට සහ විශේෂයෙන්ම මේ වනවිට ලොව තෙවැනියට වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වන බ්‍රසීලයට සංචාරක තහනමක් ගැන සලකා බලන්නේ දැයි විමසූ විට ජනාධිපතිවරයා මෙසේ පවසා සිටියේය.
"අපට ගැටලුවක් ඇති නොවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ෆ්ලොරිඩාවේ ආණ්ඩුකාරවරයා ඉතා හොඳින් පරීක්ෂා කරමින් සිටිනවා. විශේෂයෙන් ෆ්ලොරිඩාවේ. මොකද විශාල බහුතරයක් ෆ්ලොරිඩාවට පැමිණෙන නිසයි. කොහොම නමුත් බ්‍රසීලයේ වැඩි හෝ අඩු වශයෙන් ආසාදිතයන් වාර්තා වෙනවා. අතර ඔවුන්ට ගැටලු තිබෙනවා." ට්‍රම්ප් පැවසීය.
"මම සෑම දෙයක් ගැනම කනස්සල්ලට පත්ව සිටිනවා. මිනිසුන් මෙහි පැමිණ අපේ මිනිසුන්ට ආසාදනය කිරීම මට අවශ්‍ය නැහැ. ඒ වගේම එහි සිටින මිනිසුන් අසනීප වීමද මා බලාපොරොත්තු වන්නේ නැහැ."
"අනෙක් අතට සලකා බැලුවොත්, අපේ ආසාදිතයන්ගෙන් වැඩිම රට යැයි යමෙකු පැවසුවොත්, ඒ අන් සියල්ලන්ම වඩා අප වැඩි පරීක්ෂණ ප්‍රමාණයක් සිදුකර ඇති නිසයි."
"ඇත්ත වශයෙන්ම ආසාදිතයන්ගෙන් බැලුවත්, විශාලත්වයෙන් බැලුවත් අපිත් බොහෝ රටවලට වඩා විශාල රටක්. එබැවින් අපට ආසාදිතයන් විශාල ප්‍රමාණයක් සිටින විට, මම එය නරක දෙයක් ලෙස සලකන්නේ නැහැ. මම එය දෙස බලන්නේ එක්තරා ආකාරයකින් හොඳ දෙයක් ලෙසයි. මොකද එයින් අදහස් කරන්නේ අපගේ පරීක්ෂණය වඩා හොඳ බවයි" ජනාධිපතිවරයා පැවසීය.
"මම එය සලකන්නේ ගෞරව නාමයක් ලෙසයි. ඇත්ත වශයෙන්ම, එය 'ගෞරවයේ ලාංඡනයක්'. බොහෝ වෘත්තිකයන් විසින් සිදු කරන ලද පරීක්ෂාවට සහ සියලු වැඩවලට එය මහත් වූ උපහාරයක්." ට්‍රම්ප් වැඩිදුරටත් පවසා සිටියේය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 ආසාදිත අගය අද (20දා) අලුයම වනවිට 1,527,723කි. එරට සිදුව ඇති ආසාදිත මරණ සංඛ්‍යාව 91,872කි. එරට වැඩිම මරණ වාර්තා වන ප්‍රාන්තය නිව්යෝක් වන අතර, එහි අගය 28,558කි. ඇමෙරිකානුවන්ගෙන් වෛරසය ආසාදිතව සුවය ලැබූවන් 289,392ක් පමණි.